Archive for the ‘විදුසර (Vidusara)’ Category

තර්ජනයට ලක්‌ වී ඇති ශ්‍රී ලංකාවේ උරගයෝ…

November 3, 2019
තර්ජනයට ලක්‌ වී ඇති ශ්‍රී ලංකාවේ උරගයෝ…
Published on Vidusara science weekly on 30.10.2019  

 

 

 

 

 

 

 

 

 

සැම වසරක ම ඔක්‌තෝබර් 21 වැනි දා ලෝක උරගයන්ගේ දිනය ලෙස සමරනු ලබයි. උරගයන් ගෙන් පරිසර පද්ධතියට සිදු වන සේවාවත්, ඔවුන් මුහුණපාන තර්ජනයනුත්, උරගයන් සංරක්ෂණයේ වැදගත්කමත් ඉස්‌මතු කිරීම මේ දිනයේ අරමුණයි. අනෙකුත් වන ජීවීන්ට සාපේක්ෂ ව, ශ්‍රී ලංකාවේ උරගයන් පිළිබඳ ව ඇති උනන්දුව පොදුවේ අඩු වන නිසා උරගයන් පිළිබඳව දැනුවත් කිරීමට මෙවැනි දිනයක්‌ යොදාගැනීම වැදගත් වේ.

සර්පයන්, කටුස්‌සන්, කිඹුලන්, හූනන්, කැස්‌බෑවන්, ඉබ්බන් ශ්‍රී ලංකාවේ උරගයන් කාණ්‌ඩයට අයත් නියෝජිතයෝ වෙති. ජාතික රතු දත්ත පොත 2012 අනුව ශ්‍රී ලංකාවේ උරග රටාසමයන් (විශේෂ-species) 211ක්‌ සිටි අතර එයින් 125ක්‌ ම ලංකාවට ආවේණික නිසා ශ්‍රී ලංකාවේ උරගයන් ගෙන් සියයට 59ක්‌ ම වෙනත් කිසි ම රටක දැකගත නො හැකි ජීවීහු වෙති. මේ අතරින් බොහොමයක්‌ උරගයන් තර්ජනයට ලක්‌ වී ඇති අතර, වනාන්තර විනාශය වැනි හේතු නිසා වාසස්‌ථාන අහිමි වීම ඔවුනට ඇති මූලික ම තර්ජනය වේ. මීට අමතර ව ලැව් ගිනි, කෘෂි රසායන, වාහනවලට යට වීම් මෙන් ම තෝරාගැනීමකින් තොර ව සිදු කෙරෙන සර්පයන් මරා දැමීම වැනි කරුණු ද උරගයන්ට ශ්‍රී ලංකාවේ දී ඇති තර්ජන වේ.

ශ්‍රී ලංකාවේ කලාතුරකින් සිදු වුවත්, සුරතල් සතුන් ලෙස උරගයන් ඇති කිරීම ලෝකයේ සමහර රටවල ජනප්‍රිය විනෝදාංශයකි. මේ සඳහා විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ අං කටුස්‌සන්, ගැටහොඹු කටුස්‌සන් වැනි උරගයන් අල්ලා හොර රහසේ නීති විරෝධී ලෙස රට යෑවීම ද උරගයන්ට ඇති අලුත් තර්ජනයකි. පසුගිය දා පැවැත්වුණු තර්ජනයට ලක්‌ වූ වන සතුන් සහ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (CITES)හි 18 වැනි සමුළුවේ දී ශ්‍රී ලංකාවේ කටුස්‌සන් 10 දෙනකු අන්තර්ජාතික වෙළෙඳාම තහනම් කිරීමට යෝජනා වූයේ මේ තර්ජනය අවම කරගැනීමේ අරමුණෙන් ම ය. මේ යෝජනා සමහරක්‌ සංශෝධන සහිත ව සම්මත වූ අතර, අනෙක්‌වා එලෙස ම සම්මත වූයේ ය. අපගේ ගෙවතු ආශ්‍රිත ව පවා දැකගත හැකි කටුස්‌සන් පිළිබඳ වත් යෝජනාවක්‌ ද මේ අතර තිබුණත්, යම් තාක්ෂණික දොaෂ නිසා එය ඉවත දැමිණි.

උරගයන් අතර වඩාත් ම කතාබහට ලක්‌ වනුයේ සර්පයන් ය. ජාතික රතු දත්ත පොත 2012 අනුව ශ්‍රී ලංකාවේ සර්පයන් 103ක්‌ වාර්තා වුණු අතර එයින් 49ක්‌ ම ලංකාවට ආවේණික වේ. ලංකාවේ සර්පයන් අතරින් මාරාන්තික විය හැකි විෂ සහිත සර්පයන් සිටින්නේ අතළොස්‌සක්‌ නමුත්, හඳුනාගැනීමේ අපහසුව නිසා බොහොමයක්‌ සර්පයෝ මිනිසුන් විසින් මරා දැමෙති.

තමන් අවට මිනිස්‌ වාසස්‌ථාන අසල දී හමු වන සර්පයන් බොහෝ විට මරා දැමීමට මිනිසුන් පෙලඹෙනුයේ සර්පයන් හඳුනාගැනීමට ඇති අපහසුතාව නිසා ය. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස ඕනෑ ම අයෙකුට තමන්ට මුණගැසෙන සර්පයන් ඉක්‌මනින් හඳුනාගැනීමට ඉඩ සැලසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ ඉදිරිපත් වී ඇත. සර්පයන් හඳුනාගැනීමේ සේවාව ලෙස නම් කර තිබෙන මේ වෙබ් අඩවිය, පේරාදෙණිය සරසවියේ මහාචාර්ය කලන මාදුවගේගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ. විෂ සහිත සර්ප දෂ්ඨනයන් හැඳිනගෙන මිනිස්‌ ජීවිත රැකගැනීමට මෙන් ම විෂ රහිත සර්පයන් ආරක්ෂා කරගැනීමට ද සාධනීය ලෙස උපකාරී විය හැකි ක්‍රියාදාමයක්‌ නිසා, මේ වසරේ ලෝක උරගයන් සුරැකීමේ දිනය පාදක කරගත් ලිපිය මේ සර්ප – මිනිස්‌ ගැටුම පිළිබඳ ව මහාචාර්ය කලන මාදුවගේ සමඟ සිදු කළ සාකච්ජාවක්‌ ඇසුරෙන් සැකසේ.

Vidusara cover story on 30.10.2019

 

මිනිස්‌ – සර්ප ගැටුම

සර්පයන් යනු පරිසරයේ ඉතා වැදගත් අත්‍යවශ්‍ය ජීවීන් කොටසක්‌ වන අතර ඔවුන් ගෙන් පරිසරයේ සමතුලිතතාව රැකගැනීම සඳහා වැදගත් මෙහෙයක්‌ ඉටු වේ. සර්පයන් බොහෝ ආහාර දාමවල ඉහළ පුරුක්‌ වන අතර සමහර විලොපීන්ගේ ආහාර ලෙස ද සර්පයන් පරිසරයට වැදගත් වේ. සර්පයන් මඟින් පරිසරයේ මීයන්, ගෙම්බන්, හූනන්, කුරුල්ලන්ගේ ගහන පාලනය කෙරේ. මීයන්ගේ අධික ගහන නිසා අස්‌වනුවලට වන හානිය සර්පයන් නිසා පාලනය වේ. තව ද ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදන සඳහා සර්ප විෂ අත්‍යවශ්‍ය වේ. මීට අමතර ව, සර්ප විෂෙහි අඩංගු සංඝටක මඟින් නව ඖෂධ සොයාගැනීම් කළ හැකි ය.

දැනට ලංකාවේ හඳුනාගෙන ඇති සර්ප විශේෂ අතරින් උග්‍ර විෂ සර්පයන් ගණයට අයත් වන්නේ විශේෂ සුළු ප්‍රමාණයකි. ලංකාව අවට මුහුදේ වෙසෙන විශේෂ 15කට ආසන්න මුහුදු සර්පයන් සියල්ල උග්‍ර විෂ වන අතර මුහුදු සර්පයන් ගෙන් වන දෂ්ඨ කිරීම් සහ මරණ ඉතා අඩු සංඛ්‍යාවක්‌ වේ.

ගොඩබිම වෙසෙන සර්පයන් අතරින් උග්‍ර විෂ කාණ්‌ඩයෙහි ලා සැලකෙන්නේ තෙල් කරවලා / මඟමරුවා (Indian / common krait, Bungaruscaeruleus), මුදු කරවලා / දුනු කරවලා (Ceylonkriat” Bungarus ceylonicus), තිත් පොළඟා (Russell’s viper” Daboia russelii), වැලි පොළඟා (Saw scaled viper” Echis carinatus), නයා / නාගයා (Common cobra” Naja naja), කුණකටුවා / පොළොන් තෙළිස්‌සා (humpnosed pit vipers” Hypnale sp.) යන සර්පයන් පමණි. පළා පොළො`ගුන් මඳ විෂ සර්පයන් වන අතර අනෙකුත් සර්පයන් ඉතා සුළු විෂ හෝ විෂ රහිත සර්පයන් ය.

උග්‍ර විෂ සර්පයන්ගේ හිස දෙපස පිහිටි විෂ ග්‍රන්ථි (venom glands) මඟින් විෂ නිෂ්පාදනය වේ. සර්ප දෂ්ඨනයක දී මේ විෂ, විෂ දළ (fangs) හරහා දෂ්ඨ කිරීමට ලක්‌ වන පුද්ගලයාගේ ශරීරයට එන්නත් කිරීම සිදු වේ. සර්ප විෂ (snakevenom) තුළ සරල සහ සංකීර්ණ විෂ රසායන සංයෝග (toxins) රාශිය අඩංගු වේ. ඉන් සමහරක්‌ මිනිසාගේ ශරීරයේ ප්‍රතිග්‍රාහක (receptors) ක්‍රියාකාරීත්වය අඩපණ කරන අතර විෂෙහි අඩංගු එන්සයිම අණු, ශරීරයේ රසායනික ප්‍රතික්‍රියා නතර කිරීමට හෝ අධි ක්‍රියාකාරීත්වයට හෝ පත් කරයි.

සර්ප දෂ්ඨන

සර්ප විෂ මිනිසාගේ රුධිර කැටිගැසීමේ පද්ධතිය (coagulation system), රුධිරවාහිනී, ස්‌නායු උපාගම සන්ධි (synapse), මාංශ පේශි පද්ධතිය, වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි පමුණුවයි. සර්ප දෂ්ඨනයක දී එන්නත් කරනු ලැබූ විෂ, දෂ්ඨ කළ ස්‌ථානයේ සිට වසා (lymphatics) පද්ධතිය හරහා රුධිර සංසරණ පද්ධතියට සහ සියලු ම අවයව දෙසට සුළු කාලයක දී ව්‍යාප්ත වීම සිදු වේ. විෂ බලපෑම් කරන අවයව අනුව රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. මේ අතර අධික රුධිර වහනය, මුත්‍ර සමඟ රුධිරය පිට වීම, ඇස්‌පිල්ලම් කඩා හැළීම, ශ්වසනය අඩපණ වීම, මාංශ පේශිවල අධික වේදනාව, මුත්‍රා පිට නො වීම වැනි මාරාන්තික රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන කොට සැලකේ.

වසරකට ලෝකයේ සර්ප දෂ්ඨන මිලියන 1.8 – 2.7 අතර සංඛ්‍යාවක්‌ සිදු වන අතර එයින් පුද්ගලයන් 81,000 – 138,000කට ජීවිතය අහිමි වේ. ලෝකයේ සර්ප දෂ්ඨන වැඩි ම සංඛාවක්‌ සිදු වන්නේ දකුණු ආසියාවේ වන අතර ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප දෂ්ඨන වැඩියෙන් ම සිදු වන රටක්‌ වශයෙන් සැලකේ. සර්ප දෂ්ඨන වැඩියෙන් ම සිදු වන රටවල් සහ මරණ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානය (World HealthOrganization), සර්ප දෂ්ඨ කිරීම්, නො සලකා හළ, ඝර්ම කලාපීය අනතුරක්‌ (NeglectedTropical Disease) ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ වසරකට සර්ප දෂ්ඨන 80,000ක්‌ පමණ සිදු වන අතර ඉන් සියයට 50ක්‌ පමණ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරේ. ඒ අතරින් වසරකට 400ක්‌ පමණ පිරිසකට ජීවිතය අහිමි වේ.

ඝර්ම කලාපීය කෘෂිකාර්මික රට වීම නිසා ලංකාව උග්‍ර විෂ සර්පයන්ගේ ව්‍යාප්තියට ඉතා සුදුසු දේශගුණයක්‌ සපයයි. විශේෂයෙන් ම ලංකාවේ වියළි කලාපය තුළ උග්‍ර විෂ සර්පයන්ගේ ගහනය ඉතා අධික ය.

සර්ප දෂ්ඨ කිරීමක්‌ යනු රෝගියාගේ ජීවිතයට හානි විය හැකි ඉතා ඉක්‌මනින් ප්‍රතිකාර කළ යුතු බරපතළ රෝගී තත්ත්වයකි (medical emer-gency). විෂ ශරීරගත වීම ඉක්‌මන් වීම මඟින් කෙටි කාලයක්‌ තුළ රෝග ලක්ෂණ පහළ වීම සිදු වේ. එනිසා සර්ප දෂ්ඨනයක දී හැකි ඉක්‌මනින් රෝගියා රෝහලට රැගෙන ඒම අතිශයින් වැදගත් වේ.

සර්ප ප්‍රතිවිෂ එන්නත

සර්ප ප්‍රතිවිෂ එන්නත (snake antivenom), සර්ප දෂ්ඨනයක දී දෙනු ලබන ප්‍රධානතම ප්‍රතිකාරයයි. ලංකාවේ භාවිත වන සර්ප ප්‍රතිවිෂ එන්නත ලංකාවේ සිටින උග්‍ර විෂ සර්පයන් හතර දෙනෙකුගේ විෂට එරෙහි ව නිපදවා ඇත. මේ එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන අතර ඒ සඳහා ඉන්දියාවේ ව්‍යාප්ත ව ඇති සර්පයන්ගේ විෂ යොදාගැනේ. මේ එන්නත ලංකාවේ තෙල් කරවලා, තිත් පොළඟා, වැලි පොළඟා සහ නාගයාගේ දෂ්ඨ කිරීම් සඳහා එන්නත් කෙරේ.

සියලු සර්ප විශේෂ උග්‍ර විෂ නො වන අතර උග්‍ර විෂ සර්පයන් දෂ්ඨ කළ සියලු රෝගීන්ට විෂ ශරීරගත වීම සිදු නො වේ. එනිසා සර්ප දෂ්ඨ කිරීමට ලක්‌ වූ සියලු රෝගීන්ට ප්‍රතිවිෂ එන්නත ලබා නො දේ. සර්ප විෂ නිසා රෝගියාගේ හටගන්නා රෝග ලක්ෂණ සහ පර්යේෂණාගාර රුධිර පරීක්ෂා (investigations) ප්‍රතිඵල අනුව වෛද්‍යවරු ප්‍රතිවිෂ ලබා දීම නිර්ණය කරති. රෝග ලක්ෂණ පහළ වූ රෝගියකුට ප්‍රතිවිෂ ලබා දීම ප්‍රමාද කිරීම මඟින් රෝගියාගේ අවයව ගණනාවකට දැඩි හානි සිදු වන අතර ප්‍රමාද වී ලබා දෙන ප්‍රතිවිෂවල ප්‍රතිඵල රහිත විය හැකි ය. එනිසා ඉක්‌මනින් රෝග ලක්ෂණ හඳුනාගැනීම සහ ප්‍රතිවිෂ එන්නත් කිරීම ඉතා වැදගත් වේ.

දැනට ලංකාවේ භාවිත වන ප්‍රතිවිෂ එන්නත ඉන්දියාවේ නිපදවන බැවින් එය භාවිත කළ හැකි වන්නේ ලංකාවට සහ ඉන්දියාවට පොදු ව්‍යාප්තියක්‌ ඇති සර්පයන් හතර දෙනාට පමණි. එබැවින් ලංකාවේ ව්‍යාප්තියක්‌ ඇති අනෙකුත් විෂ සහිත සර්ප දෂ්ඨන සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්‌ මෙරට නැත. විශේෂයෙන් ම ලංකාවේ වැඩි ම සර්ප දෂ්ඨන සිදු වන උග්‍ර විෂ කුණකටුවන්ගේ විෂට කිසිදු ප්‍රතිවිෂ එන්නතක්‌ නොමැත. මෙනිසා වසරකට සැලකිය යුතු රෝගීහු සංඛ්‍යාවක්‌ කුණකටුවන්ගේ විෂ නිසා වකුගඩු ආබාධ සහ රුධිර කැටිගැසීම් පද්ධතියේ බලපෑම් නිසා මරණයට පත් වෙති.

සර්ප ප්‍රතිවිෂ නිෂ්පාදනය සඳහා උග්‍ර විෂ සහිත සර්පයන් ගෙන් ලබාගන්නා විෂ යොදාගැනේ. මේ විෂ කුඩා මාත්‍රා ලෙස අශ්වයන්ට එන්නත් කිරීම සිදු වේ. මෙමඟින් අශ්වයන්ගේ රුධිරය තුළ එන්නත කළ විෂට එරෙහි ව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ (antibodies) සංඝටක නිපදවේ. ප්‍රතිවිෂ එන්නත් නිෂ්පාදනයේ දී මේ ප්‍රතිදේහ සංඝටක අශ්ව රුධිරයෙන් වෙන් කරගෙන ප්‍රතිවිෂ එන්නත් ලෙසට රෝහල්වල භාවිත කෙරේ.

සර්ප ප්‍රතිවිෂ එන්නත්වල අශ්ව ප්‍රොaටීන අඩංගු බැවින් සහ නිෂ්පාදනයේ දී සිදු වන සමහර අඩුපාඩු නිසා ප්‍රතිවිෂ එන්නත් කිරීමෙන් රෝගීන්ට අසාත්මිකතා ( allergies) ඇති විය හැකි ය. ඖෂධ නිසා සිදු වන අසාත්මිකතා අතර ප්‍රතිවිෂ එන්නත් මඟින් සිදු වන අසාත්මිකතා සංඛ්‍යාව ඉතා අධික වේ. ඉන් සමහරක්‌ අසාත්මිකතාවන් ඉතා බරපතළ (anaphylaxis) වන අතර එමඟින් ජීවිතයට හානි විය හැකි ය. එනිසා සර්ප ප්‍රතිවිෂ එන්නත් එන්නත් කළ යුතු වන්නේ එය අවශ්‍ය ම රෝගීන්ට පමණි.

දැනට ලංකාවේ භාවිත වන ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත නිසා ඉතා විශාල සංඛ්‍යාවකට මේ අසාත්මිකතාවන් හටගනී. මෙයින් සමහරක්‌ අසාත්මිකතාවන් ශරීරයට දැඩි හානි පමුණුවන බරපතළ අසාත්මිකතාවන් වේ. තව ද ලංකාවේ කුණකටුවන්ගේ සහ මුදු කරවලාගේ දෂ්ඨ කිරීම් සඳහා මේ එන්නත ලබා දිය නො හැකි ය. මෙනිසා අසාත්මිකතාවන් ඉතා අඩු, ලංකාවේ සර්ප විෂ නිවැරැදි ව ම නිෂේදනය කළ හැකි (ලංකාවේ සර්ප විෂ යොදා නිෂ්පාදනය කළ), කුණකටුවන්ගේ විෂ නිෂේධනය කළ හැකි එන්නතක අවශ්‍යතාව ඉතා වැදගත් වේ. එසේ නො වේ නම් ප්‍රතිවිෂ එන්නත් නිසා හටගන්නා අසාත්මිකතාවන් නිසා ජීවිත හානි විය හැකි ය. කුණකටුවන්ගේ විෂ සඳහා එන්නතක්‌ තිබීම මඟින් කුණකටුවන්ගේ දෂ්ඨ කිරීම් නිසා සිදු වන සියලු මරණ වළක්‌වාගත හැකි ය.

කෘෂිකාර්මික රටක්‌ වීම, උග්‍ර විෂ සර්පයන්ගේ අධික ඝනත්වය, සර්පයන් සමග නිතර ගැටීම සහ ප්‍රතිකාර ක්‍රමවල අඩුපාඩු නිසා ලංකාවේ සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වළක්‌වාගැනීම අසීරු කටයුත්තක්‌ වී ඇත.

ප්‍රතිවිෂෙහි ගුණාත්මක බව සහ රෝහලේ දී ලැබෙන ප්‍රතිකාරවලට අමතර ව රෝගීන්ගේ දායකත්වය මේ මරණ අඩු කිරීම සඳහා අතිශයින් වැදගත් වේ. දෂ්ඨ කළ සර්පයා රෝහලට රැගෙන ඒම අවශ්‍ය නො වන අතර එමඟින් ලැබෙන ප්‍රතිකාරවල කිසිදු ප්‍රමාදයක්‌ සිදු නො වේ. රෝගියාගේ රෝග ලක්ෂණ මඟින් දෂ්ඨ කළ සර්පයා නිර්ණය කිරීම වෛද්‍යවරුන්ට හැකියාව ඇත.

සර්පයන් හඳුනාගැනීම සඳහා නව වෙබ් අඩවියක්‌

දුටු තැන සර්පයන් මරා දැමීම ලංකාවේ බොහෝ දෙනකුගේ පුරුද්දක්‌ වී ඇත. බොහෝ විෂ රහිත සර්පයන්, උග්‍ර විෂ සර්පයන් සේ සලකා බියට පත් ව මරා දැමීම සිදු වේ. මූලික ගණනයන්ට අනුව දිනකට ලංකාවේ 10,000කට අධික සර්පයන් සංඛ්‍යාවක්‌ මරා දැමෙන බව අනුමාන කළ හැකි ය. විෂ සර්පයන් වෙන් කර හඳුනාගැනීමේ ඇති නො හැකියාව මෙයට ප්‍රධාන ව ම හේතු වී ඇත. සමහර විෂ රහිත සර්පයන් ලංකාවට ආවේණික දුර්ලභ සර්පයන් වන අතර මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ දුර්ලභ විශේෂ වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇත.

සර්පයන් හඳුනාගැනීමේ ඇති නො හැකියාව මඟහැරවීම සඳහා නව වෙබ් අඩවියක්‌ http://www.snakesidentification.org පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්‌ හඳුන්වා දී ඇත. මෙමඟින් ඕනෑ ම කෙනකුට තමන් දුටු සර්පයාගේ ඡායාරූපයක්‌ සහ අදාළ තොරතුරු කීපය වෙබ් අඩවිය හරහා යොමු කළ හැකි ය. සර්පයාගේ හඳුනාගැනීම සහ විෂෙහි ප්‍රබලතාව පිළිබඳ තොරතුරු කෙටි කාලයකින් නැවත අදාළ පුද්ගලයාට දැනුම් දීම මේ වෙබ් අඩවිය හරහා සිදු වේ. මීට අමතර ව ලංකාවේ සර්පයන් හඳුනාගැනීම ගැන සියලු දැනුම මේ වෙබ් අඩවිය තුළ  ඇතුළත් වේ.

සර්පයන් සමඟ ගැටෙන විශාල සංඛ්‍යාවක්‌ මේ වෙබ් අඩවිය හරහා දිනපතා තමාට හමු වන සර්පයන් නිවැරැදි ව හඳුනාගැනීම සිදු කෙරේ. මේ අතර, රෝහල්වල වෛද්‍යවරුන්, අනෙකුත් සේවකයන්, පරිසර හිතකාමීන් විශේෂ වේ.

ලංකාවේ සර්පයන් හඳුනාගැනීම, සර්ප විෂ, රෝග ලක්ෂණ හටගැනීම, ප්‍රථමාධාර ක්‍රම, ප්‍රතිකර්ම ක්‍රම, සර්ප දෂ්ඨන වැළැක්‌වීම සහ සර්පයන් සංරක්ෂණය ගැන නිවැරැදි දැනුම බොහෝ ශ්‍රී ලාංකිකයන් හට අඩුපාඩුවක්‌ ව පවතී. මේ දැනුම සහිත පොතපත ඉතා අල්ප ය. නවතම දැනුම තවමත් පොත්වලට ලියවී නැත. බොහෝ කරුණු දැනට පවතින්නේ පර්යේෂණ පත්‍රිකා ලෙස වීම මේ සඳහා හේතු වී ඇත. මේ අඩුපාඩුව මඟහැරවීම සඳහා නවතම දේශන මාලාවක්‌ නිෂ්පාදනය කර ඇත. මේ දේශන මාලාව යූටියුබ් (Youtube) හරහා Snakebites (The whole story ලෙසට ටයිප් කිරීමෙන් නැරඹිය හැකි ය. රූප සහිත දේශන නවයකින් සමන්විත මේ වැඩසටහන මඟින් ලංකාවේ සර්පයන් හඳුනාගැනීම, සර්ප විෂ ආශ්‍රිත රෝග ලක්ෂණ, සර්ප ප්‍රතිවිෂ, ප්‍රථමාධාර, සර්ප දෂ්ඨන වැළැක්‌වීම සහ ලංකාවේ සර්පයන් සංරක්ෂණය ගැන නවතම තොරතුරු ලබාගත හැකි ය. ඉහත සර්පයන් හඳුනාගැනීමේ වෙබ් අඩවිය සහ දේශන මාලාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ, වෛද්‍ය පීඨයේ මහාචාර්ය කලන මාදුවගේ මහතා විසින් හඳුන්වා දී පවත්වාගෙන යනු ලබන අතර වෛද්‍ය භාග්‍යා නිකපිටිය, සජිත් තිලකරත්න, ආසිරි සෙනවිරත්න සහ වෛද්‍ය ශිෂ්‍ය පරාක්‍රම කරුණාතිලක මේ සඳහා සක්‍රිය සහයෝගය ලබා දී ඇත.

වසරකට ලංකාවේ 400කට අධික පිරිසක්‌ සර්ප දෂ්ඨ කිරීම් නිසා මිය යන නමුත් මේ සියල්ල වළක්‌වාගත හැකි අනතුරු වේ. මේ සඳහා වෛද්‍යවරුන්, පර්යේෂකයන්, සෞඛ්‍ය බලධාරීන් මෙන් ම රටේ සියලු පුරවැසියන් තම යුතුකම් නිසි ලෙස ඉටු කළ යුතු වේ. මේ සඳහා ඉහත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය දැනුම සහ වුවමනාව තිබිය යුතු ය. ලංකාවේ සර්ප දෂ්ඨන ගැන දැනුම, අවබෝධය සහ නිවැරැදි ආකල්ප වර්ධනය මෙහි පළමු පියවර වේ. මේ ලිපියේ ඇතුළත් මූලික දැනුම සහ සර්පයන් හඳුනාගැනීමේ වෙබ් අඩවිය (www.snakesidentification.org) සහ (Snake-bites ( The whole story) දේශන මාලාව මේ සඳහා තැබූ වැදගත් පියවරක්‌ වේ. සර්ප දෂ්ඨන ගැන දැනුම සහ ආකල්ප වර්ධනය මිනිස්‌ – සර්ප ගැටුමේ අවසානය ඉක්‌මන් වන අතිශයින් වැදගත් තීරණාත්මක පියවරක්‌ වනු ඇත.


සර්ප දෂ්ඨනයක දී දිය යුතු ප්‍රථමාධාර


1. මූලික ජීවිතාරක්ෂක ප්‍රථමාධාරය කෘත්‍රිම ශ්වසනය ලබා දීම හෝ අර්ධ සම්බාහනය විය හැකි ය.

2. රෝගියාගේ බිය නැති කිරීම (මෙමඟින් රුධිර සංසරණ පද්ධතියේ වේගය සහ පීඩනය අඩු වී විෂ ශරීරගත වීම ප්‍රමාද වේ).

3. රෝගියා ශාරීරික වශයෙන් විවේකී ව තැබීම.

4. දෂ්ඨ කළ ස්‌ථානය සබන් යොදා හෝ නො යොදා ගලා යන ජලයෙන් සේදීම සහ පිටතින් සැරහුමක්‌ යෙදීම.

5. දෂ්ඨ කිරීමට ලක්‌ වූ බාහුව හැකි තරම් නො සොල්වා තැබීම.

6. වේදනාව සඳහා අවශ්‍ය නම් පැරසිටමෝල් ලබා දීම.

7. පැළඳ සිටින වළලු, මුදු සහ ඔරලෝසු ආදිය ඉවත් කිරීම.

8. හැකි ඉක්‌මනින් රෝගියා විඩාවට පත් නො කර ළඟ ම ඇති රෝහලට රැගෙන ඒම.

 

 සර්ප දෂ්ඨනයක දී කළ යුතු දේ

සමහර රෝගීහු සර්ප දෂ්ඨ කිරීම බරපතළ නො වන සේ සලකා ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කරති. තවත් සමහර රෝගීහු අනුමත කළ නො හැකි, රෝග ලක්ෂණ සහ විෂ ශරීරගත වීම ඉක්‌මන් කෙරන ප්‍රථමාධාර ක්‍රම සඳහා යොමු වෙති. මෙනිසා සර්ප දෂ්ඨ කිරීමක දී කළ යුතු සහ නො කළ යුතු ප්‍රථමාධාර ක්‍රම ගැන සියලු ශ්‍රී ලාංකිකයන් දැන සිටීම වැදගත් වේ. එයට හේතුව ශ්‍රී ලාංකික සියලු දෙනාට ම කෙදිනක හෝ සර්ප දෂ්ඨනයක්‌ සිදු වීමේ විශාල සම්භාවිතාවක්‌ පැවතීමයි. විශේෂයන් ම වියළි කලාපයේ ජීවත් වන, කෘෂිකාර්මික ජනතාව තුළ විෂ සහිත සර්පයන් හඳුනාගැනීම, ප්‍රතිකාර ක්‍රම සහ නිවැරැදි ප්‍රතිකාර ක්‍රම ගැන හොඳ දැනුමක්‌ තිබීම අත්‍යවශ්‍ය වේ. මේ ජීවිතාරක්ෂක දැනුම කෙනකුගේ ජීවිතය බේරා ගැනීමට කෙදිනක හෝ උපකාර වේ. එනිසා මේ දැනුම පාසල් පෙළපොත විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම කාලෝචිත වේ.

සර්ප දෂ්ඨනයක දී නො කළ යුතු දේ ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු ය. මන්ද, වැරැදි ප්‍රථමාධාර නිසා විෂ ශරීරගත වීම ඉක්‌මන් වී රෝගියා මිය යා හැකි බැවිනි.

 සර්ප දෂ්ඨනයක දී නො කළ යුතු දේ

1. රෝගියා බියට පත් කිරීම සහ කලබලයට පත් කිරීම.

2. රෝගියා ඇවිදවීම සහ වෙහෙසට පත් කිරීම.

3. දෂ්ඨ කළ ස්‌ථානයට ඉහළින් තදින් වෙළුම් පටියකින් ගැටගැසීම.

4. දෂ්ඨ කළ ස්‌ථානය කැපීම, විෂ ඉරීම සහ අනෙකුත් ඖෂධ ගැල්වීම.

5. වෛද්‍ය උපදෙස්‌ නොමැති ව වෙනත් ඖෂධ ලබා දීම.

6. මත්පැන් පානය කරවීම.

7. තැඹිලි වතුර සහ වෙනත් පලතුරු යුෂ පානය කරවීම.

8. දෂ්ඨ කළ ස්‌ථානයේ කොන්ඩිස්‌ ගැල්වීම.

9. ශ්වසන පද්ධතියට විවිධ ඖෂධ දමා නස්‌න කිරීම.

නිවැරැදි ප්‍රථමාධාර දීමේ අරමුණ වන්නේ ප්‍රථමාධාර මඟින් කිසිදු හානියක්‌ සිදු නො කිරීම, විෂ ශරීරගත වීම ප්‍රමාද කිරීම, රෝග ලක්ෂණ හටගැනීම ප්‍රමාද කිරීම සහ රෝහලකට රැගෙන යන තෙක්‌ රෝගියාගේ ජීවිතය රැකගැනීමයි. ඒ නිසා අවබෝධයෙන් තොර ව ප්‍රථමාධාර ලබා නො දීම සර්ප දෂ්ඨනයක දී ඉතා වැදගත් වේ.

මාලක රොඩ්‍රිගෝ

 

‘Made for mating’ giant moth causes stir

August 10, 2019

Published on SundayTimes on 04.08.2019 http://www.sundaytimes.lk/190804/news/made-for-mating-giant-moth-causes-stir-361274.html

A huge, butterfly-like creature sitting calmly inside a house in Ratnapura surprised its owners earlier this week and, as news spread, curious neighbours flocked in to see a beautiful creature none of them had ever seen before – one of the largest moths in the world.

Male Atlast Moth (Attacus taprobanis) – Nuwan Chathuranga

It was an Atlas moth (Attacus taprobanis) – the largest moth species in Sri Lanka, with a wingspan of 25-30cm and a wing surface area of about 400 square cm.

The giant insect’s visit was perfectly timed as this week is Moth Week, celebrating the hundreds of moth species in Sri Lanka.

“The Ratnapura moth is a female,” moth researcher Nuwan Chathuranga said.

Atlas moth caterpillars are eating machines but the adult Atlas moth cannot eat as its mouth is not fully developed, so its lifespan is very short; the moths’ sole aim is to mate and lay eggs.

This explains why the female moth found in Ratnapura sat in one spot, its birthplace, without straying to look for food as other insects do. After emerging from a cocoon, the female Atlas moth usually perches near its birthplace, waiting for males to be attracted to the strong pheromone or sex scent it emits.

A moth antenna has fine hairs containing smell receptors that can identify chemical compounds from long distance. The male Atlas moth’s antennae pick up sex signals from a long distance and send it rushing to the female’s irresistible invitation.

Moths undergo a complete metamorphosis through four different life stages, like butterflies. The larva of the moth emerges from an egg in the form of a caterpillar that feeds on leaves. The caterpillar then turns into a pupa protected by a cocoon or pupating underground before emerging as an adult moth.

“While we do not see Atlas moths every day, they are not that rare as Atlas moths are often reported even in home gardens,” said Himesh Jayasinghe of the Butterfly Conservation Society of Sri Lanka (BCSS). Other large and beautiful moths found in this country include lunar moths, also called moon moths, Mr. Jayasinghe said.

While the Centre for Entomological Studies Ankara (Turkey), published a study of Lepidoptera (butterflies and moths) in Sri Lanka in 2012 that states Sri Lanka is home to 245 butterfly species and 1,658 moth species, Mr. Chathuranga estimates that there could be more than 2,000 species of moths in Sri Lanka.

“I encounter lot of new species of moths during field observations – Sri Lanka has rich moth diversity and further studies will surely increase the number of moths found here,” he said.

Moths are mostly nocturnal and usually rest with its wings down compared to butterflies, that rest with wings closed upward. Moths’ antennae become thinner at the end whilst butterflies usually have a little bob or ball at the end of theirs.

Many consider moths to be dangerous pests while caterpillars. The fall army worm caterpillars, locally known as “sena”, that were responsible for large-scale crop damage recently, were at the larval stage of the fall army worm moth. “Only about 10 per cent of total moth species are to be considered agricultural pests,” Mr. Chathuranga emphasised.“Out of them, only a handful should be considered major agricultural pests.”

Those interested at studying moths can join the Butterfly Conservation Society of Sri Lanka at http://bcssl.lk/

Lunar Moth – Himesh Jayasinghe.

Endemic Antheraea cingalesa (c) Himesh Jayasinghe.

අනුන්ගේ කැදැලිවල බිත්තර දමන, අවුරුදු නැතත් තවමත් ගී ගයන කොහා…

July 26, 2019

The Asian Koel is known as messenger of traditional Sinhala/Tamil new year celebrated on April, as the male Koel start singing its beautiful song coincide with new year season. Many believe the koel sings only during Avurudu; but according to the bird guide books, the main breeding season of Koel is from March extending to June. As a member of Cuckoo family, Asian Koel is a brood parasite that lays eggs on nest of other birds such as crow. The male Koel provoke crow parents by singing in close range getting them to give a chase abandoning the nest. While the parents are away, the female quickly fly to the nest and lay one or two eggs in crow nest. The koel eggs hatch earlier, so Koel babies are getting bigger sooner. The unwary foster parents continue to feed young koel until they realize it is not their baby. 

Not only Asian Koel, other cuckoos too lay eggs on nests of other birds. K.Karu of Thalawathugoda captured such observation in his home garden in Thalawathugoda, where a Hawk Cuckoo was fed by its foster parents – the common babblers. This article was published on Vidusara 17th of July. 

අප්‍රේල් අවුරුදු පසු වී තෙමසක්‌ ගත වී මේ වන විට ජූලි මාසය ද එළඹී අවසාන ය. එහෙත් අවුරුද්දේ පණිවිඩකරු ලෙස සැලකෙන කොහා නම් තවමත් පෙර පරිදි ම තම ගීතය ගායනා කරනු අඛණ්‌ඩ ව ඇසේ. ඔබේ ප්‍රදේශයේත් එසේ ම ද…?

අපේ ගෙවත්ත අවට ප්‍රදේශයේ දී නම් අලුයම් කාලයේ දී කොහා තම ගීත ගායනය අරඹයි. ගෙවත්ත අවට කීප දිශාවකින් ම කොහාලා 4-5 දෙනකු පමණ එකිනෙකා පරයා ගීත ගයනවා ඇසීම අවුරුදු සමයේ ලෙසට ම තීව්‍රතාවෙන් තවමත් සිදු වේ. සැබැවින් ම ජූනි මාසයේ අවසාන සෙනසුරාදා උදැසනක මේ ලිපිය ලියන්නේ ද කොහාලා තිදෙනකු ගෙන් පමණ ගීතවත් වූ උදැසනක දී ය.

මීට පෙර කීප වතාවක්‌ ම ගෙවත්තේ ජෛව විවිධත්වයෙහි සටහන් කළ පරිදි ම, මේ කන්කලු ගීතය තම සුවැදි සමයේ දී (Breeding season) පිරිමි කොහා විසින් සහකාරිය දිනාගැනීමට ගනු ලබන උත්සාහයකි. කොහාගේ සුවැදි සමය අප්‍රේල් සිට අගෝස්‌තු දක්‌වා වන බව කුරුලු පතපොතෙහි දැක්‌වෙන බවත් මීට පෙර ලිපියක අපි සටහන් කළෙමු. එමෙන් ම මාර්තු සිට ජූනි මාසවල දී කොහාගේ ගීතවත් නාදය ඇසෙන බව මහාචාර්ය සරත් කොටගමගේ නවතම කුරුලු අත්පොතේ ද සටහන් වේ.

කෝකිල කුලයට (Cuculidae) අයත් වන කොහා එහි අනෙකුත් සාමාජිකයන් බොහොමයක්‌ මෙන් ම අන් පéSන්ගේ කැදැලිවල බිත්තර දමන පරපුටු පක්ෂියෙකි. කොහා (Asian Koel) බිත්තර දැමීමට ප්‍රධාන වශයෙන් ම යොදාගන්නේ කපුටන්ගේ කැදැලි ය.

කොහාගේ බිත්තරත් කාක්‌කාගේ බිත්තරත් හැඩයෙන් යම් තාක්‌ දුරකට සමාන වන අතර, පැටවුන් බිහි කිරීමේ කාල සීමාව ද එක සමාන ය. කෙවිලිය, කපුටු කූඩුවේ බිත්තර දැමීමට ගන්නා උපක්‍රමය ද රසවත් වේ. කපුටු කැදැල්ලක්‌ මුලින් නිරීéණය කළ පසු, පිරිමි කොහා ඒ කැදැල්ල පෙනෙන මානයේ සිට නාද කරන්නට පටන්ගනී. මෙයින් කලබල වන කපුටු මාපියෝ, කොහාට කොටා එළවා දමන්නට උගේ පසුපස පන්නති. පිරිමි කොහා උපක්‍රමශීලී ව කපුටු කැදැල්ලෙන් පුළුවන් තරම් ඈතට කපුටන් ඉවත් කරගන්නා අතර, කෙවිලිය ඉක්‌මනින් කපුටු කැදැල්ල වෙත පියඹා විත් තම බිත්තර එකක්‌ හෝ දෙකක්‌ හෝ දමා ඉක්‌මනින් ඉවත් වේ. නැවතත් කැදැල්ල වෙත එන කපුටු මවුපියන්ට තම කැදැල්ලේ වෙනස ගැන අවබෝධයක්‌ නොමැති අතර ඔවුහු පෙර පරිදි ම බිත්තර රැකීමේ කාර්යයේ නිරත වෙති.

පහතින් පිහිටි සහ පලතුරු ගස්‌වලට ආසන්නයෙන් ඇති කපුටු කූඩුවල කෙවිලිය බිත්තර දැමීමට වඩා කැමැති බව දැක්‌වේ. කාක්‌කා, බිත්තර දමා දවස්‌ එක හමාරකට පමණ පසු සාමාන්‍යයෙන් කෙවිලිය බිත්තරය දමන බව තවත් නිරීéණයන් ඇසුරින් කුරුලු නිරීéකයෝ සඳහන් කරති. වැඩි වූ බිත්තරයක්‌ ගැන මෙහි දී සැකයක්‌ ඇති වීම වැළැක්‌වීමට කෙවිලිය කපුටු කූඩුවේ තිබෙන බිත්තරයක්‌ බිමට තල්ලු කර දමන බව ද සඳහන් වේ. බිත්තරවලින් දවස්‌ 12ක්‌ 14ක්‌ වැනි කාලයක දී පැටවු එළියට එති. වෙනත් රටවල කෝකිල කුලයේ සමහර සාමාජිකයන්ගේ පැටවුන්, ඉක්‌මනින් බිත්තරයෙන් එළියට විත්, කැදැල්ලේ ඇති අනෙකුත් බිත්තර එළියට තල්ලු කරනවා නිරීéණය කර ඇතත්, ලංකාවේ කොහා නම් එසේ නො කරන බව සඳහන් වේ.

මේ සාමාන්‍යයෙන් කාක්‌ බිත්තරවලින් පැටවුන් එළියට ඒමට දින තුනකට පමණ පෙර ය. මුල් කාලයේ දී මේ පැටවුන් කාක්‌ පැටවුන්ට බොහෝ සෙයින් සමාන වේ. කාක්‌ මාපියන් විසින් ගෙනු ලබන එන කෑම කා ඉක්‌මනින් ම වර්ධනය වන මේ පරපුටු පැටවා කැදැල්ලේ දින 20ක්‌ – 28ක්‌ පමණ ඇතිදැඩි කරන කාක්‌ මාපියන් ගෙනෙන කෑම කමින් වර්ධනය වේ. මේ පටලැවිල්ල ගැන සැක සිතීමට පෙර කොහා පැටවුන් කැදැල්ලෙන් ඉවත් විය යුතු ය. ඇතිදැඩි කළ මාපියන් මේ පටලැවිල්ල සොයාගෙන කොටන්නට එන විට ඈතට පියඹා යැමට කොවුල් පැටවු බොහෝ විට සමත් වෙති.

රැකුම් පරපෝෂිතවාදය (Brood Parasitism) කෝකිල කුලයේ (Cuculidae) සාමාජිකයන්ගේ බොහෝ විට පොදු ලéණයක්‌ වනුයේ මේ කුලයේ කුරුල්ලන් ගෙන් කැදැලි තනනුයේ අතළොස්‌සක්‌ බැවිනි. ලංකාවේ වෙසෙන කෝකිල කුලයේ බොහොමයකට ම මෙය පොදු වන අතර සමහර කෝකිලයන් බිත්තර දැමීමට තෝරාගන්නේ දෙමළිච්චන් වැනි ශරීර ප්‍රමාණයෙන් කුඩා කුරුල්ලකුගේ කැදැල්ලකි. මෙවන් අවස්‌ථාවන්හි දී තමන්ටත් වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල පැටවුන්ට ආහාර කවන ඇතිදැඩි කළ මාපියන් දැකගැනීමට පිළිවන.

මෙවන් සංසිද්ධීන් අධ්‍යයනය පිණිස වනාන්තරයකට ගොස්‌ දින ගණන් කල් ගත කරනවා වෙනුවට සමහර විට ඔබගේ ගෙවත්තේ සිට ම නිරීක්‌ෂණයක්‌ සිදු කරගැනීමට ඔබටත් අවස්‌ථාවක්‌ තිබෙනවා වන්නට පිළිවන් බව මේ ලිපිය සමඟ පළ වන උකුසු කොහා (Hawk cuckoo) පැටවකුට ආහාර ලබා දෙන දෙමළිච්චා මාපියන් සමඟ ගත් ඡායාරූප පසක්‌ කරනවා නො වේ ද? තලවතුගොඩ තම ගෙවත්තේ දී ලබාගත් මේ අසාමාන්‍ය ඡායාරූප බෙදා හදාගන්නා ලද්දේ කෙයි කරූ (Kay Karu) මහතා විසිනි. මැයි මාසයේ දිනක දෙමළිච්චන් සමඟ ම ගැවසුණු වෙනත්, තරමෙන් විශාල කුරුල්ලකු දුටු කරු මහතා ඒ කුරුල්ලන් රංචුව උනන්දුවෙන් නිරීéණය කළ අතර, මඳ වෙලාවකින් ආහාර සොයාගෙන ආ දෙමළිච්ච්කු මේ කුරුලු පැටවාට කවනවා දැක වැඩිදුර නිරීéණයේ දී ය මේ රැකුම් පරපෝෂිතවාද සංසිද්ධියක්‌ බව පසක්‌ වී තිබෙන්නේ.

මෙවන් නිරීéණයන් කිහිපයක දී ගත් ඡායාරූප පසුගිය කාලයේ සමාජ ජාලවල පළ වූයේ, හොඳින් නිරීéණය කළොත්, අප ගෙවතු හා ඒ අවටත් මෙවැනි අපූරු සංසිද්ධීන් දැකගත හැකි බව පසක්‌ කරමිනි. කෙතරම් ජනාකීර්ණ පරිසරයක ජීවත් වුවත්, අප ගෙවතු අවට කෝකිලයන් හා කපුටන් බොහෝ විට දැකගත හැකි ය. කොහාගේ සුවැදි සමයේ අවසානය ගෙවෙන මේ කාලයේ දී ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ගැන සෙවිල්ලෙන් සිටිය හොත් සමහර විට ඔබටත් එවැනි නිරීéණයන් සිදු කළ හැකි වනු ඇත.

තරමක නිහැඬියාවකින් පසු අප්‍රේල් මාසය ආසන්නයේ දී කොහා තම ගීත ගායනය ඇරඹීම බොහෝ දෙනාට දැනුණත්, අප්‍රේල් අවුරුදු සමය අවසන් වූ පසුත් කොහාගේ ගායනය අවසන් නො වන බව නම් දැනෙන්නේ නැත. අප බොහෝ දෙනාට මෙය දැනෙන්නේ නැත්තේ, කාර්යබහුලත්වය හෝ වෙනත් හේතු නිසා අප අවට පරිසරයේ සිදුවීම්වලට අවධානය යොමු නො වීම නිසා ය. මේ අවුරුදු සමයේ කොහාගේ ගීතය මුලින් ම මගේ කන වැකුණේ මාර්තු මාසයේ 14 වැනි දා ය. එදා සිට අප ගෙවත්ත අවට සහ මා සංචාරය කළ බොහෝ ප්‍රදේශවල දී කොහාගේ ගීතය අසන්නට ලැබිණි. සැම සතියක ම කොහාගේ ගීතය ඇසේ දැයි සටහනක්‌ කරගැනීම පුරුද්දක්‌ ලෙස මේ දිනවල දී මා සිදු කරනුයේ, එවිට මේ කාර්තුවේ දී කොහාගේ ගීතවත් නද අවසන් වරට ඇසෙන සතිය නිරීéණය කිරීමේ හැකියාව ඇති නිසා ය. මේ දත්ත පරෙස්‌සමෙන් තබාගෙන, නැවත මීළඟ අවුරුද්දේ ද එසේ සටහන් කරගැනීමෙන්, අවුරුදු පතා කොහා ගීත ගයන කාලය සොයාගැනීමටත්, අවුරුද්දෙන් අවුරුද්ද මේ කාලය වෙනස්‌ වේ දැයි සොයාගැනීමටත් උපකාරී කරගැනීම මේ සටහන් තබාගැනීමේ අරමුණයි. ‘ගෙවත්තේ ජෛවවිවිධත්වය’ කියවන ඔබටත් අද ම ඔබේ ප්‍රදේශයෙනුත් තවමත් කොහාගේ ගී ගායනය ඇසේ දැයි සවන් යොමා බලා ඔබගේ නිරීéණයනුත් ලියා එවන්න. පරිසර නියමු වැඩසටහන්වලට සම්බන්ධ වී සිටින සිසුන්ට මෙන් ම උසස්‌ පෙළ ව්‍යාපෘතියක්‌ ලෙස ද මෙවැනි සුළු නිරීéණයක්‌ පවා වැදගත් විය හැකි ය.

සතියේ දිනක දී එම නිරීéණය, එනම් කොහාගේ ගීතය ඇසෙනවා ද නැති ද යන්න සටහන් කරගන්න. මේ සටහන පරෙස්‌සම් කර තබාගෙන නැවත ලබන අවුරුද්දේ දී කොහා තම ගීතය ගයන්නට පටන්ගන්නා දින සටහන් කරගන්න. අවුරුදු කිහිපයක දී මේ නිරීéණයන් උපකාරයෙන් ඔබටත් කොහා ගී ගයන්නට පටන්ගන්නා කාලයත්, එය අවසන් කරන කාර්තුවත් පිළිබඳ අනාවැකි කීමට ඔබට හැකි වනු ඇත. එමෙන් ම විවිධ හේතු නිසා මේ කාලයන් වෙනස්‌ වීමට හැකි අතර, මෙවැනි දත්ත ඔබ ළඟ තිබුණ හොත්, එවැනි වෙනස්‌කම් ද විශ්ලේෂණය කිරීමට ඔබට හැකි වේ.

පටන්ගැනීමක්‌ ලෙස ඔබත් අද ම ගෙවත්තට පියමැන ඔබ ප්‍රදේශයේත් කොහාගේ ගී ගායනය තවමත් ඇසේ දැයි සවන් යොමා බලන්න.

 

දෙවසරක් සපුරණ ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ලිපි මාලාව

July 24, 2019

The column ‘Biodiversity of Home Gardens’ that I started on 2017 on Vidusara sinhala science weekly completes 2 years on this World Environment Day. We are so much concern about the beauty of the birds in forests like Sinharaja or wetlands like Kumana. We are so much fond of visiting wildernesses to see charismatic animals such as elephants, leopards, whales. But what about the biodiversity in our own door-step..? We’ve got beautiful singers like Magpie-robin, Asian koel; skillful dancers like Fantail Flycatcher – so many beautiful birds, butterflies and other interesting creatures. Yes, they are common, but still there are lots of interesting things to watch. But as we are unaware and paying less attention, most of us miss such interesting drama unfolded everyday in our own backyards and around. So the aim of the ‘Biodiversity of Home Gardens’ is to portray some of the interesting biodiversity that still remain in the home gardens with intention to improve the quality of home gardens to facilitate the creatures can link the people with nature. 

Following article was published on Vidusara on 05.06.2019. I wrote about the methods I used to attract butterflies to our garden, sharing their successes encouraging the readers to follow same. 

Common Line-blue butterfly that visited our garden

අද ජුනි 5 ලෝක පරිසර දිනයයි. ගෙවත්තේ ජෛව විවිධත්වය ලිපි මාලාව ආරම්භ කිරීමට අඩිතාලම දැමුනේ ‘සොබාදහම සමග සම්බන්ධ වෙමු’ (connecting people to nature) තේමාව යටතේ සැමරූ 2017 ලෝක පරිසර දිනයට සමගාමිව විදුසර පුවත් පතේ පළවූ ලිපියකිනි. කාර්යබහුලත්වය නිසා සමහර කාලවලදී ලිපි පළකිරීමට නොහැකි වුවත්, මේ වන විට ගෙවත්තේ ජෛව විවධත්වය ලිපි මාලාව දෙවසරක් සපුරයි. මෙම ලිපි මාලාවේ මුලිකම අරමුණ වුයේ අපගේ ‘සොබාදහම සමග සම්බන්ධ වීමට අපට ඇති පළමු සහ ප්‍රමුඛතම අවස්ථාව අපගේ ගෙවත්ත’ බව ඉස්මතු කිරීමයි. හොදින් නිරීක්ෂණය කළහොත්, කොතරම් කුඩා වුවත් අපගේ ගෙවතු හා ඒ අවට තවමත් විවිධාකාරයේ ජීවින් සිටින බවත් ඒ අතරින් කුරුල්ලන්, සමනලුන් වැනි සතුන් සැබැවින්ම පරිසරයේ අලන්කාරත්වයත් අපුර්වත්වයත් අපගේ ගේ එළිපත්තටම ගෙන එන බවත් පසක් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ විය.

‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ තුළින් බොහෝ විට මාගේ පෞද්ගලික අත්දැකීම් ඔබ සමග බෙදා හදා ගත්තේ ප්‍රයෝගිකව ම ඔබටත් එවැනිම ආකාරයේ නිරීක්ෂණයන් සිදුකල හැකි බව පසක් කිරීමටය. රුපවාහිණීයේ නාටක, චිත්‍රපට, කාර්ටුන් වැනි වැඩසටහන් වලට ඇබ්බැහි වී ගත කරන කාලයෙන් බිදක් තම ගෙවත්ත ට පිවිස පරිසරය සමග ගැවසීමෙන් පරිසරයේ අපුර්වත්වය තම ගෙවත්තෙන් පවා විදගත හැකි බව මේ වනවිට ඔබටත් තහවුරු වී ඇතැයි සිතමි. බොහෝ විට මාගේ දියණියත් මෙම ‘ගෙවතු ගවේෂණයන්’ සදහා සහභාගී කරවා ගෙන, ඒ අත්දැකීම් ද ඔබ හා බෙදා ගත්තේ, අද කාලයේ පරිසරයෙන් ඈත් වෙමින් සිටින කුඩා දරුවන්ට පවා තම ‘ගෙවත්ත’ පරිසරය පිළිබද පළමු අත්පොත ලෙස ගත හැකි බව පසක් කිරීම පිණිසමය.

අපගේ ගෙවත්ත ඉතා කුඩා ගෙවත්තකි. එහෙත් මේ වනවිට ගෙවත්ත සහ ඒ අවට සමනළුන් විශේෂ 15ට වැඩි ප්‍රමාණයක් ද කුරුල්ලන් 30 ට වැඩි ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ. මේ වන විට සමහර කුරුල්ලන් සහ සමනලුන් නිතරම අප ගෙවත්තේ ගැවසෙන සාමාජිකයන් වී සිටි. මේ වන විටත් සුටික්කකු එහි කැදැල්ලක් තැනු අතර සෑම දාම රාත්‍රියේ නිදා ගන්නා බට්ටිච්චකු මේ වනවිටත් නිරීක්ෂණය කර තිබේ. තරමක් ජනාකීර්ණ ප්‍රදේශයක තිබුනත් – කුඩා ගෙවත්තක් වුවත්, මේසේ කුරුල්ලන්/ සමනළුන් සැළකිය යුතු ප්‍රමාණයක් ඒමට හේතූන් මොනවාදැයි, අප ගෙවත්තේ දි ගත ජායාරූප සහ නිරීක්ෂණයන් දකින සමහරු අසති. එහි රහස නම්, අප ප්‍රදේශය අවට සිටින කුරුල්ලන් ට, සමනලුන්ට ප්‍රයෝජනවත් ගහ කොළ වැවීමයි. ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ට දෙවසරක් සපිරෙන දා ජීවීන් ට හිතකර ගෙවත්තක් කිරීමට ම ගත උත්සාහයත්, සමහර ජීවින් එයට දැක්වූ ප්‍රතිචාරත් බෙදා ගැනීමට සිතුවේ ඔබටත් එය ප්‍රයෝජනවත් වෙතැයි සිතන නිසාය.

කුරුල්ලන් ගෙන්වා ගැනීමට ලේසිම ක්‍රමය ඔවුන් ආහාරයට ගන්නා දේ හැදෙන ගස් සිටුවීමයි. අප ගෙවත්ත අවට සිටි කුරුල්ලන් අතර මල්පැණි බී ජිවත් වන සුටික්කන් ගෙන්වා ගැනීමට මල් පැණි සහිත පුෂ්ප හට ගන්න ගස් කිහිපයක් ම ගෙන්වා සිටුවීමි. මේ අතරින් සමහර ශාක වලට ඔවුන් ආකර්ෂණය නොවුණු නමුත්, ටැකොමා නම් වූ මල් වර්ගය ඔවුන් ගෙවත්ත වෙත දිනකට කිහිප වතාවක්ම ගෙන ඒමට සමත් විය.

ගෙවත්ත වෙත ආකර්ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ගෙන් වඩාත් ම සාර්ථක වුයේ සමනලුන් ගෙන්වා ගැනීමට ගත උත්සාහයයි. රාජපොහොට්ටු, සීනියා මෙන්ම දුරන්ත මල් වර්ග මේ සඳහා ප්‍රධාන කොටම උපකාරී විය.

Common Jezbel butterfly that visited our Durantha flowers

අප ගෙවත්තේ තිබෙන ගස් අතරින් වඩා වටිනාම ශාකය තෝරා ගැනීමට වුවහොත්, මා ඊට තෝරා ගන්නේ දුරන්ත (Durantha) නම් වූ දම් පැහැති කුඩා මල් පිපෙන ශාකයයි. ‘දූරෙන්ද’ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වූ වැටවල් වල සිටුවන ශාකයක දෙමුහුන් කිරීමකින් වැඩිපුර මල් සැදෙන සේ වැඩි දියුණු කළ මේ ශාකය සමහරු කිසිදු වැඩකට නැති ගසක් ලෙස සැලකුවත්, මෙහි මල් පිපෙන්නට පටන් ගත් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට මින් පෙර අපගේ ගෙවත්තේ නොදුටු සමනළුන් වර්ග 4ක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය. වැඩි සැළකිල්ලක් ද අනවශ්‍ය මේ දුරන්ත ශාකය සමනලුන් ආකර්ෂණය කර ගැනීමට ඔබටත් සිටුවිය හැකි ශාකයකි.

සමනලුත් ආකර්ෂණය කර ගැනීමට සමත් ශාඛ අතරින් මා ප්‍රියකරන අනිකුත් ශාකය වුයේ අක්කපාන ශාකයයි. පොත් අස්සේ දැමු විට මුල් අදින පත්‍ර සහිත අක්කපාන ශාකයක් මුලින්ම ගෙනාවේ අප නිවසේ අත් වැඩ කරදීමට පැමිණි කාන්තාවයි. ලස්සන රතු පැහැති මලක් පිපෙන නිසා අලංකාර ශාකයක් ලෙස ගෙනා මෙම ගස අසල ලස්සන කුඩා සමනලයෙකු ගැවසෙනවා කිහිප දිනකම නිරීක්ෂණය කළ මම ඒ සමනළයා හදුනා ගැනීමට අත්පොතක් පරික්ෂා කරන්නට පටන් ගති. ඒ Red Pierrot (රතු කොනන්ගියා) නම් සමනලයා ලෙස හදුනා ගත මා වඩා පුදුම වුයේ ඒ සමනළයා බිත්තර දමනා ධාරක ශාකය අක්කපාන බවත් යන විස්තරය කියවීමෙනි. ඉන් පසු දිනම විසිතුරු පැළ විකුණන ස්ථානයකින් අක්කපාන පැල කිහිපයක්ම ගෙනවිත් සියල්ල ආසන්නයේ තිබෙන්නට හරින ලදී. පුදුමයකට මෙන් දින කිහිපයකට පසු මෙම Red Pierrot සමනළයින් 5 දෙනෙකුම අපගේ ගෙවත්තේ දක්නට ලැබුනේ මා සහ මාගේ දියණිය ඉතාමත් සතුටට පත් කරමිනි. මේ අතරින් සමණලයෙකු අක්කපාන කොළයක බිත්තර දමනවා පවා නිරික්ෂණය කිරීමට හැකි විය.

Red Peirrot butterfly that lay eggs on akkapana plants

සමනලුන් ගේ දළඹුවන් නිසා අනිකුත් බෝග වලට හානි සිදුවන අවස්ථා ද නැත්තේම නොවේ. හැබැයි, අපේ ගෙවත්තේ එවැනි අවස්ස්තාවන් එකක් පමණි – ඒ Common Cerulean නම් වූ සමනළයා ගේ දළඹුවන් විසින් අපගේ ගෙවත්තේ මෑ කරල් විනාශ කර දැමීමයි. කෙසේ වෙතත් දැන් වන විට නාගරික සහ ගම්බද ඉතිරිවී සිටින ජිවින් සංරක්ෂණය සඳහා අපගේ ගෙවතු මෙවැනි ජිවින්ට හිතරකර ලෙස සකස් කට ගැනීම ඉතාමත් වැදගත් වේ.

Common Cerulean that lays egg on long beans

ඔබ තවත් මතකයේ තබා ගත යුතු කරුණක් වනුයේ කුරුල්ලන් සහ සමනළුන් ආකර්ෂණය කර ගැනීමට ගන්න සමහර උත්සාහයන් සාර්ථක නොවීමට ද ඉඩ තිබෙන බවයි. විශේෂයෙන්ම තෝරා ගත සමනළුන් ඉතා ප්‍රිය කරන මල් වර්ගයක් ලෙස බලු නගුට ශාකයත්, සමනලුන් ගේ ප්‍රියතම ධාරක ශාකයක් වූ සප් සඳ වැලත් වගා කළත් අප ගෙවත්තේ දී මේ දෙකටම සමනලුන් ආකර්ෂණය නොවිය. සමනලුන් බිත්තර දමනුයේ, එම සමනලයාට ම විශේෂිත වූ ධාරක ශාඛයක ම වන අතර දෙහි කුලයේ ශාක, අනෝදා වලත් සමහර සමානලයින් බිත්තර දමන බව සදහන් වන නිසා, මේ ශාක වගා කලත් – ඒවාද තවමත් සාර්ථක නොවුනි.

පළතුරු බුදින කුරුල්ලන් අතරින් ගිරවුන්, පොළොස් කොට්ටෝරුවන් අප ගෙවත්ත අවට නිතර ගැවසෙයි. පේර, කාමරන්කා මෙන්ම පැපොල් ද වගා කළේ විශේෂයෙන්ම මේ පලතුරු බුදින්නෝ ගෙන්වා ගැනීමට වුවද, එය සාර්ථක නොවිය. පේර ගසේ පිටි මකුණන් නිසා ගෙඩි නොසෑදුන අතර, කාමරන්කා සහ පැපොල් ගස් වල ගෙඩි කෑමට කිසිම කුරුල්ලෙකු හෝ ලේනෙකු පැමිණි සලකුණක් හෝ දැකගත නොහැකි විය.

මෙයින් පෙනී යනුයේ අපගේ සියලු ම උත්සාහයන් සාර්ථක නොවිය හැකි බවත්, එනමුත් උත්සාහය ඇත නොහැර, පරීක්ෂණ කිරීම මගින්, ඔබ ගෙවත්තේ තිබෙන ප්‍රදේශයේ ජීවින් ට අනුකුල වන ලෙස ගෙවත්ත සකස් කර ගැනීම මගින් ඔබ ගෙවත්තේ සහ අවට ජෛව විවිධත්වය වැඩි කරගත හැකි බවයි. මදුරුවන් වැනි අහිතරක ජීවින් බෝ නොවන ලෙස අපගේ ගෙවතු පරිසර පද්දතීන් නඩත්තු කර ගැනීම පිළිබදවත් සැළකිල්ල යොමු කරගත යුතු වේ.

ඔබත් මෙසේ සමනලුන්ට කුරුල්ලන්ට හිතකර ගෙවත්තක් සකසා ගැනීමට ලෝක පරිසර දිනය සමරන අද දින අදිටන් කර ගන්න. එසේ කිරීම තුළින් අපිට ත් ‘සොබාදහම සමග සම්බන්ධ විම‍ට’ අපගේ ගෙවත්තේ සිටමහැකි වනු ඇත.

ඔබගේ අත්දැකීම් ද ‘ගෙවත්තේ ජෛව විවිද්හත්වය’ තුලින් බෙදා හද ගන්නට කැමති නම් අප වෙත ලියා එවන්න.

Indian Palmbob – a different kind of butterfly

Common Mormon butterfly – the largest butterfly seen in my garden

වෙසක් සැරසිලි මැද සුවසේ නිදා ගත් බට්ටිච්චා

June 30, 2019

I first observed that a Tailor Bird sleeps on an ornamental plant hanging from upstairs. The bird continues to sleep on this place upto today (i.e.29th June). Tailor bird puffs its feathers and tuck its head under its wing to make its profile hide from potential predator. The bird is undisturbed even anybody goes very close to it. This is published under ‘Biodiversity of Home Garden’ column on Vidusara Science Weekly on 29.05.2019. 

රටෙහි මොන වාතාවරණය තිබුනත්, අපේ ගේ සහ ගෙවත්ත සුපුරුදු පරිදි වෙසක් සැරසිලි වලින් සරසන්නට ලැහැස්ති වුයේ වෙසක් දිනයට සති කිහිපයක සිටමය. වෙසක් පහන් කූඩු කිහිපයක් තනා නිම කර, කොඩි වැලක් තනා, පැරණි විදුලි බුබුළු වැලේ දුහුවිලි පිසදා, වෙසක් දිනයට පෙරදා රාත්‍රියේ ගේ ඉදිරිපස නිරීක්ෂණය කිරීමට එළියට ආවේ මේ සැරසිලි එල්ලන ආකාරයේ දළ සැලැස්මක් ගසා ගැනීමටය.

මෙසේ නිරීක්ෂණය කරන අතරතුර ඉහළ තට්ටුවේ බැල්කනියෙන් පහළට වැටෙන සේ වවා තිබු විසිතුරු මල් වැලේ යම් අමුත්තක් එක් වරම ඇස ගැටුනත් ඒ කිමෙක්දැයි එක් වරම සිතා ගැනීමට නොහැකි විය. කහ පැහැති මල් පිපුණු, පහතට වැටි තිබුණු මේ මල් වැල වෙත වඩාත් ලංවී එය නිරීක්ෂණය කරද්දී, සුදු පැහැයට හුරු බෝලයක් වැනි දෙයක් නිරීක්ෂණය විය. බෝලයේ එක පසෙකින් කුඩා කුරකි. කිසිදු හැල හොල්මනක් නොමැති මේ කුඩා බෝලය කුරුල්ලෙකු වන්නට ඇතැයි මට අනුමාන කිරීමට හැකිවුයේ වසර ගණනාවක් කුරුල්ලන් අධ්‍යනය කර තිබීමේ පළපුරුද්ද නිසාම පමණෙකි.

තවත් ළඟාවී නිරීක්ෂණය කළත්, කුරුල්ලාගේ ඔලුව සොයා ගැනීමට නොහැකි වුයේ එය හොදින් තටු අතර සඟවා ගෙන සිටි නිසාවෙනි. පිහාටු හොදින් පුම්බා ගෙන සිටි නිසා කුරුල්ලෙකුගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රවුම් ස්වාභාවයක් ගත් අතර වලිගය පමණක් ශරීරයෙන් ඉවතට කෙළින් විහිදී තිබිණේ කුරුල්ලකු යයි කිසිවෙකුටත් සිතාගත නොහැකි අයුරකිනි.

සුදු පැහැ ශරීරයේ මිශ්‍රවී තිබු කොළ පැහැයත්, ප්‍රමාණයත් උපයෝගී කර ගෙන මේ සිටින්නේ නිදා සිටින බට්ටිච්චේකු (Tailor Bird) බව නිවැරදිව හදුනා ගැනීමට මට තවත් මද වෙලාවක් ගත විය.

ගෙයි ඉදිරිපස ආලින්දයේ ප්‍රධාන විදුලි බුබුල අසලම නිදා සිටි බට්ටිච්චා, පහතින් සිදු කරන අපගේ ක්‍රියාකාරකම් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමට තරම් දක්ෂ විය. වහා කැමරාව ගෙන්වා ගත මා මේ නිදා සිටින බට්ටිච්චාගේ ජායාරූ කිහිපයක් ම ගත්තේ විවිධ කොනයන්ගෙනි. කෙසේ වෙතත් කැමරාවේ විදුලි ආලෝකය නිසා කලබල වනු අත්දෝයි සැකය නිසා flasher නොදල්වා මෙම ජායාරුප ගත නමුත්, කුරුල්ලා නම් කලබලයක් නොපෙන්විය.

පසුදා – මැයි 18  වෙසක් දා උදෑසන 7ට පමණ නිරීක්ෂණයේදී බට්ටිච්චා ඒ වනවිටත් නිදි ගැට කඩා, තම යහනෙන් නික්ම ගොස් තිබිණි. සමහර කවි, ගීත වල ‘මල් යහනක’  සතපන බව කාව්‍යමය අර්ථයෙන් පැවසෙතෙත් මේ බට්ටිච්චා නම් සැබවින්ම සිටියේ ‘මල් යහනක’ බව පෙනුනේ කුරුල්ලා සිටි කහ පැහැ මලින් බර මල් වැල උදෑසන දී දුටු විටදීය. තවත් වෙසක් සැරසිලි කිහිපයක් ම සැකසීමට දහවල කල් ගත වුනු අතර, ඒවා එල්ලිමටත්, විදුලි බුබුළු වැල් වලින් ගෙවත්ත ආලෝකමත් කිරීමටත් පහතට බැස්සේ රාත්‍රී 6.45 පමණ දීය. මේ වනවිටත් බට්ටිච්චා තම පුරුදු නවාතැනට පැමිණ සිටි අතර, වෙසක් සැරසිලි කිරීමේදී කලබල වී ඉගිල යාවී දොයි සැක සිතුනත් කුරුල්ලා ඒ පිළිබද එතරම් තැකීමක් නොකර නිසොල්මනේ බලා හිදිම මගේ සැනසුමට කාරණයක් විය. ඉහළ තට්ටුවේ සිට ගෙවත්ත දක්වා ඇදුනු විදුලි බුබුළු වැල ක්‍රියාත්මක කල විට, නොයෙක වර්ණයෙන් නිවී නිවී වැටෙන ඒ විදුලි බුබුළු දෙස මේ බට්ටිච්චා මද වෙලාවක් බලා සිටියේ වෙසක් සිරිය නරඹනවා මෙනි.

The location this bird sleep is encircled

රාත්‍රියේදී මොර සූරන වැස්සක් වැටුනේ තද සුළඟකුත් සමගය. කුරුල්ලා සිටි මල් වැල තදින් නොතෙමුන ද සුළඟ සමග එන වැහි පොද ඒ මත පතිත වූ අතර සුළඟට බට්ටිච්චා සිටි මල් වැල තදින් පැද්දීමට ලක්වුවද කුරුල්ලා එතනින් ඉවත් වුයේ නැත.

වෙසක් දිනට පසු දිනත් මේ බට්ටිච්චා එනු ඇත්දැයි මා සවස 6.15 පමණ සිට සෙවිල්ලෙන් සිටි අතර, කුරුල්ලා 6.30ට පමණ පැමිණ සිටිනු නිරීක්ෂණය කලෙමි. ටික වෙලාවක් නිසොල්මනේ හිඳ, ඉන්පසු ඔලුව උරපතේ හංගා ගෙන නිසොල්මන්ව නිදා ගන්නට ගියේ 6.40 ට පමණ වේ. මැයි 17 සිට මෙම ලිපිය ලියන මැයි 26 වැනි ඉරිදා ද  ද බට්ටිච්චා එකම තැන ලැගුම් ගනු නිරීක්ෂණය කෙරිණි.

මේ බට්ටිච්චා නිදා සිටි මල් වැල තිබුනේ අපි හැවොම නිතර ම එහා මෙහා යන විවෘත ස්ථානයකය. ඉස්තෝප්පු වේ තිබුණු ප්‍රධාන විදුලි බුබුල ට අඩියක තරම් ආසන්නයෙන් තිබූ වැලම තෝරාගෙන තිබු අතර, සැර ආලෝකයක් ඇති මේ විදුලි බුබුල නිවන / දල්වන විටදී ද බට්ටිච්චා කිසිදු කලබලයක් නොපෙන්විය (මේ හේතුව නිසාම පසුව මේ බට්ටිච්චාගේ ජයාරූප කිහිපයක් කැමරාවේ Flasher .ආලෝකය භාවිතයෙන් පසුව දුරින්  සිට ගන්නා ලද්දේ කුරුල්ලා සිටි ඉරියව් හොඳින් සටහන් කර ගැනීමටය.)

ඉතින් මෙවැනි අනාරක්ෂිත යැයි බැලු බැල්මට පෙනෙන මෙවැනි තැනක් රාත්‍රී නවාතැන ලෙස තෝරා ගැනීමට නුවණට හුරු නොවේයැයි ඔබට සිතෙනු ඇත. මේ කුරුල්ලන් ට සිටින ප්‍රධාන විලොපිකයකු වනුයේ බළලා වැනි සතුන්ය. උඩ සිට එල්ලෙන සිහින් මල් වැලක් නිසා, බළලුන් ගෙන් මේ තැන ආරක්ෂිතවේ. උකුස්සා වැනි ගොදුරු කුරුල්ලන් රාත්‍රියේදී නැති අතර, මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන කුඩා බස්සන් වර්ග වලින් කුරුල්ලන් ට තර්ජනයක් නැත. ඊටත් වඩා, නිසොල්මන් ව හිස තටු අතර සගවා ගෙන සිටින ඉරියව්ව නිසා කොහොමටත් මේ ඉන්නේ කුරුල්ලකු බව සොයා ගැනීමට අපහසුය. අනිත් පැත්තෙන් බැලුවහොත්,  මෙම මල් වැලට අවට පරිසරයම හොදින් දිස්වෙන නිසා අවශ්‍ය වුවහොත් අවට නිරීක්ෂණයට කුරුල්ලාට අවස්ථාව ලබා දෙයි.

නිදා සිටින බට්ටිච්චන් පිළිබද අන්තර්ජාලයේ කළ සේවිමකදී මා දුටුවේ සිංගප්පුරුව, ඉන්දියාව වැනි බට්ටිච්චන් සිටින රටවල කුරුළු ලෝලීන් ද ඉඳ හිට මෙවැනි සමාන අත්දැකීම් විද ඇති බවයි.

මේ මා විසින් නිදා ගෙන සිටිනා බට්ටිච්චකු ගෙවත්තේදී දුටු දෙවැනි අවස්ථාව වේ. පළවෙනි අවස්ථාව මිට වසර ගනනාවකට පෙර අත්දැකීමක් වන අතර ඒ හබරල පලයක පත්‍රයක නිදා සිටි ඒ බට්ටිච්චා දුටුවේ මා මොකක් දෝ හේතුවකට ඒ හබරල පැලය ඇල්ලීමට යාමේ දිය. මිට අමතරව රාත්‍රියේ නවාතැන් ගත් සුදු රෙදි හොරා (අසියා  සුදු රැහැන් මාරා), දෙමලිච්චන් සහ පොල්කිච්චන් ගෙවත්තේ දී නිරීක්ෂණය වී තිබේ.

ඉතින් බලන්න ඔබට මෙවන් අත්දැකීමක් කුරුල්ලන් බැලීමට වෙනත් පරිසර පද්දධතියකට චාරිකාවක දී ලබා ගත හැකි වෙතැයි ඔබ සිතනවා ද..? සිංහරාජය වැනි වනාන්තරයක දී ඔබට දුර්ලභ කුරුල්ලන් දැක ගත හැකි වනු ඇත. බුන්දල වැනි තෙත් බිමකදී දහස් ගණන් කුරුල්ලන් බලා ගත හැකි වනු ඇත. එහෙත් ගෙවත්තත් ඒ හා සමානම සිත්ගන්නා සුළු, අපුර්ව මෙවැනි සිදුවීම් වලින් බහුලය. ඔබත් මබ අවට ගෙවත්තේ ජෛව විවිධත්වය නිරීක්ෂණයට පුරුදු වන්න. විශේෂිත සිදුවීමක් නම් අප වෙත ලියා එවන්න.

වෙසක් දා සිට කළ කළ අහඹු නිරීක්ෂණයන් ගෙන් තහවුරු වුයේ සවස 6.40 ට මේ බට්ටිච්චා සාමාන්‍යයෙන් නිදන්නට යන බවය. මෙසේ රාත්‍රිය ගත කොට මේ බට්ටිච්චා උදෑසන නික්ම යන වෙලාව සොයා ගැනීමට ද ඇති වු කුකුස නිසා මැයි 26 ඉරිදා උදයේ 5 සිට නිරීක්ෂණය කළෙමි. එහිදී නිරීක්ෂණය අනුව බට්ටිච්චා තම නවතනෙන් ඉගිලී ගියේ හරියටම අලුයම 5.40 ටය. අවදි වූ වහාම ඉදිරියේ වූ ගස් ගොන්න වෙත පියඹා ගියේය.

මයි 26 දා සවස නැවතත් මෙම බට්ට්ටිච්ච නිරීක්ෂණයට සවස 6.20 වනවිට යද්දී, කුරුල්ලා ඒ වනවිටත් තම රාත්‍රී නවාතැන වෙත් ඇවිත් සිටියේය. තම පිහාටු පිරිමදිමින් වට පිට බලමින් 6.30 පමණ තෙක් කල් වැරූ බට්ටිච්චා ගේ ජායාරූප නිරීක්ෂණයේදී පෙනී ගියේ පිරිමදීමෙන් සෙමින් සෙමින් ශරීරයේ ම පිහාටු පුම්බා ගනිමින් සිටින අයුරුයි. කෙසේ වෙතත් බට්ටිච්චා තම හිස සඟවා ගෙන පුර්ණ නින්දකට වැටුනේ 6.40 ට ආසන්නයේ දීම ය.

Tailor bird (c) Hari Namasivayam

කුරුල්ලෝ නිදා ගන්නවා ..?

කුරුල්ලන් ද අනිත් බොහෝ සතුන් මෙන් නිදා ගන්නා නමුත්, එය අපි නිදා ගන්නවා ට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. විලෝපිකයන් ගෙන් ආරක්ෂා වීම පිණිස සැමවිටම විමසිලිමත් වීම වැදගත්වේ. එනිසා කුරුල්ලන් ට කෙටි නින්ද ඇති බව ත්  එසේම සමහර කුරුල්ලන් ගේ මොලයේ එක් පසක් අවධියෙන් තබා අනිත් පස නින්දට යැවිමේ අපුරු හැකියාවක් තිබෙන බව ත් සදහන් වේ (ඉක්මනින් ඇහැරී ක්‍රියාකාරී වියහැකි ලෙස නිදා ගන්නා විට ‘කුකුළ් නීන්ද’ ලෙස හැදින්වීම නිසි ලෙසම ගැලපෙන යෙදුමක් වන්නේ එහෙයිනි). මෙය unihemispheric slow-wave sleep (USWS) ලෙස හැදින වෙන අතර සමහර නිහැරී කුරුල්ලෝ දිගු සංචරණයකදී ගුවනේ පියා හඹා යද්දී ම මෙසේ කිරීමේ හැකියාව තිබේ යැයි සොයා ගෙන ඇත.

නින්දේදී කුරුල්ලන්ගේ ග්‍රහණය ගිලිහි බිමට නොවටෙදැයි තවත් ප්‍රශ්ණයකි. ශරීරයේ බරත් සමග කකුලේ පේශීන් හොදින් හිර කර ගැනීමේ හැකියාව කුරුල්ලන්ට ඇති නිසා නින්දේදී නොවැටී සිටීමට ඔවුන්ට පිළිවන. එසේම ගිරවුන් වැනි සමහර කුරුල්ලන් යටි අතට නිදා ගන්නා අතර, ඔවුන් තම නිය වලින් නොවෙටෙන සේ යමක එල්ලී සිටි.

ගෙවතු කුරුල්ලන් ගේ දොරට වඩින සමය

June 30, 2019

From Feb/March to May; lots of garden bird species breed. Observation of these nests (ofcourse with care without disturb them) are an interesting activity that makes you more closer to nature. This article discusses about the breeding season of common garden birds in Sri Lanka and importance of observing them without disturbing the nest. This was published on 16.05.2019 on my column ‘Biodiversity of Home Gardens’ on Vidusara Science Weekly. 

මේ ගෙවතු ආශ්‍රිතව හමුවන බොහෝමයක් කුරුල්ලන් ගේ සුවදි සමයේ අවසාන කාර්තුවයි. සති කිහිපයකට පෙර ‘ගෙවත්තේ ජෛව විවිධත්ත්වය’ තුළින් ඉදිරිපත් කෙරුණු අප නිවස ඉදිරිපස තිබු පිළිහුඩුවන් ගේ කැදැල්ල පිලිබදව ඔබට මතක තිබේයැයි සිතමි. මේ වනවිට එම කැදැල්ලෙන් පිලිහුඩු පැටවුන් ඉගිල ගොසින් හමාරය. පසු ගිය සතියේ ලිපිය අවුරුදු දා දුටු කරපටි කන් බස්සන් ගේ පැටවුන් පිළිබද කියවිණි. මිට අමතරව මෙසේ නිරීක්ෂණය කල කුරුළු කැදලි හා ළගදි දොරට වැඩි කුරුළු පැටවුන් කිහිපයකගේ ම විස්තර කුරුළු ලෝලීන් කිහිප දෙනෙකුම පසුගිය දා ඉදිරිපත් කොට තිබුනේ, කැදලි වලින් දොරට වැඩිම් මේ කාලයේ දී බහුලව සිදුවන බව පසක් කරමිනි.

එවාර්ට්ස් රැන්ලේ විසින් ජයාරූප ගත කල නාවල තෙත් බිම් උද්‍යානයේ තිබු කහ කුරුළු කැදැල්ල අප්‍රේල්.2019

මහාචාර්ය සරත් කොටගමගේ ‘සිරි ලක කුරුල්ලෝ’ අත් පොතේ අර්ථ දැක්වීම අනුව ‘සුවැදීම’ (Breed) යනු පැටවෙකු බිහි කිරීමේ මුළු කටයුත්තටම පුළුල් ලෙසින් ද පටු ලෙසින් ද යොදා ගත හැකි වචනයකි. සහකරු තේරීමේ සිට පෙරපෙම් හැසිරීම් ඔස්සේ ලිංගික එක්වීම තෙක් ද ඉන් පසු කැදලි තේරීම, කැදලි තැනීම, බිත්තර දැමීම, බිත්තර රැක්විම, පැවවුන් බිහි කිරීම, පැටවුන්ට කැවීම, පැටවුන් රැක බලා ගැනීම, පැටවුන් කුඩුවෙන් පිටතට එක කර ගෙන යාම යන කටයුතු සහ අන්තිමේදී පටවා නිවහල් සතෙකු බවට පත් වීම දක්වා සියලු කටයුතු පුළුල් අරුතින් සුවැදීමට අයත්වේ. පටු ලෙස අර්ථ දැක්වීමේ දී කුඩුව තැනීම ඇරඹීමේ සිට පැටව කුඩුවෙන් පිට වීම තෙක් වූ සියලු කටයුතුවලට සුවදීම යයි කියනු ලැබේ.

සුවැදීමට, එනම් පැටවෙකු බිහි කිරීමේ මුළු කටයුත්තට අදාළ කෙරුම් රැසක් කුරුල්ලන් හදුනාගැනීමට ද උදව් වේ. මේ කෙරුම් අතර සහකරු තේරීම, කැදලි තැනීම, බිත්තර රැකීම සහ පැටවුන් රැක ගැනීම වෙයි. ඒවාට අදාලව මානාවන් හොට පිළිහැඬවීම (Beak rattling – හඩක් නිකුත් වන පරිදි කුරුල්ලෙකු තම හොටයේ හනු දෙක නැවත නැවත ගටවා ගැනීම), කොන්ඩයන් සහ පොල්කිච්චන් පියාපත් විතිරවමින් නැටීම, කෑදැත්තා සිය කිරිල්ලිය කැදැල්ල තුල මැටි ගසා සිර කිරීම, කපුටන් සහ දෙමලිච්චන් සමාජ පීරිමේ (Social preening -තම හොටයෙන් එකිනෙකා ගේ පිහාටු පීරා දීම/පිරිමැදීම) යෙදීම යන කටයුතු නිදසුන් කිහිපයකි.

ඩිලාන් ජයවික්‍රම ගේ තලවතුගොඩ ගෙවත්තේ නිරීක්ෂණය කල සුටික්කාගේ කැදැල්ල. පෙබරවාරි 2019

මාර්තු සිට අප්‍රෙල්/මැයි මාස වලදී ගෙවතු ආශ්‍රිතව ජීවත් වන බොහෝ කුරුල්ලන් කැදලි තැනීම සිදු කරයි. ඉතින් මේ කැදලි තනන සමයේ කොතරම් දේවල් අපේ ගෙවත්තේ නිරීක්ෂණයට තිබේ ද..?

ඔබත් ඔබගේ ගෙවත්තේ කැදලි තනන කුරුල්ලන් පිළිබද සහ සුවැදී සමය ආශ්‍රිත අනිකුත් ක්‍රියා කාරකම් ගැනත් අධ්‍යයනයට උනන්දු වන්න. කෙසේ වෙතත් කැදලි සහ පැටවුන් නිරීක්ෂණය කිරීමේ දී සහ ජයාරූප ගැනීමේදී අප විශේෂයෙන් පරිස්සම් සහගත වීම ඉතාමත් වැදගත් වේ. කුරුලු කූඩුව අසල ඇති ගස්, ගස් අතු, පත්‍ර ආදිය ඉවත් කිරීම එහා මෙහා කිරීම සිදු කිරීමෙන් වැළකිය යුතු වනුයේ එමගින් කැදැල්ල විලෝපිකයන්ට නිරාවරණය විය හැකි බැවින්, කැදැල්ලට අනතුරක් වීමට බොහෝ විට ඉඩ තිබෙන නිසාය.

කුරුළු පැටවුන් නිරීක්ෂණයේදී ද පරිස්සම් විය යුතුය. බොහෝවිට දෙමාපියන් තම පැටවුන් ආරක්ෂාකාරී තැනක තබා ආහාර සොයා යන අවස්ථා තිබේ. එවන් අවස්ථාවක තනිවම සිටින පැටවුන් ඔබගේ පැමිණීමෙන් කලබල වී එම ආරක්ෂාකාරී තැනින් ඉවත් වීමෙන් ලෙහ්සියෙන් විලොපිකයෙකුට ගොදුරුවීමට ඉඩ තිබේ. ඕනෑවට වඩා කිට්ටු වීමෙ දී කලබල වී පැටවුන් දෙමාපියන් ගෙන් වෙන් වීම ද විය හැකිය. නිරීක්ෂණයේ දී හෝ ජායාරුප ගැනීමේදී සැම විටම කුරුල්ලන් ගේ ආරක්ෂාව සැමවිටම ප්‍රමුඛ ව සැලකිය යුතු බව මතකයේ තබා ගන්න.

කැදැල්ලක් අනතුරට පත් වී හෝ කුරුළු පැටවකු එලියට වැටි සිටියහොත් කල යුතු හොඳම දේ, ගෙදර රැගෙන විත් ආරක්ෂා කිරීමට වඩා දෙමාපිය කුරුල්ලන් වෙත බාර දීමයි. එවන් පැටවකු මුනගසුනහොත් හැකියාවක් ඇතොත් නැවත කැදැල්ලේ තබන්න. තුවාල වී සිටිනම් හෝ දෙමාපිය කුරුල්ලන් ඒ අවට නැතිනම් පමණක් ම  මෙවන් අනතුරට පත් කුරුල්ලන් ට උදව් කිරීමට උත්සාහ කරන්න.  කොළඹ අවටින් මුණ ගැසුන කරදරයට පත් කුරුල්ලකු නම් වනජීවී දෙපාර්තමේන්තුව යටතේ අත්තිඩියේ ක්‍රියාත්මක කරදරයට පත් වන සතුන් බේරාගැනීමේ සහ පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානය (දුරකථන අංක 0113604147) වෙත භාර දිය හැකිය.

පහත දක්වනුයේ අප ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි පොදු කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සුවැදී සමයන් ලෙස මහාචාර්ය කොටගම ගේ ‘සිරි ලක කුරුල්ලෝ’ කුරුළු අත්පොතෙහි දැක්වෙන කාලයන් වේ.  සමහර කුරුල්ලන් ට සුවැදී සමයන් දෙකක් තිබෙන අතර සමහරෙකු ට නිශ්චිත සුවදි සමයක් දැක්විය නොහැක (නැතහොත්, එවන් කුරුල්ලන් ගේ කැදලි වසර පුරාම විටින් විට දැක ගත හැකිවේ).  සමහර කුරුල්ලන් මෙහි දැක්වෙන කාලයන් ට අමතර වද කැදලි තැනීම සිදු කිරීමට ඉඩ තිබෙන අතර, නිසි ලෙස වාර්තා කල ඔබගේ නිරීක්ෂණයන් කුරුළු විද්‍යාඥයන්ට තම දත්ත යාවත්කාල කරගනිමට උපකාරී වනු ඇත. ඒ නිසා ඔබගේ ගෙවත්ත හෝ අවටින් ද මෙවැනි කැදැල්ලක් හෝ පැටව් නිරීක්ෂණයන් ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය වෙත email මගින් ලබා දෙන්න gardenbirdwatch.srilanka@gmail.com.

අජිත් ගමගේ විසින් රාජගිරියේ තම ගෙවත්ත අසල නිරීක්ෂණය කල පොල්කිච්චාගේ කැදැල්ල

දෙමලිච්චා – මාර්තු-මැයි (මුල් වතාව) අගෝස්තු – නොවැම්බර් (දෙවැනි)

පොල්කිච්චා : සුවදීම අවුරුද්ද පුරාම සිදුවිය හැකි වුවද මුල් වන්නේ මාර්තු සිට සැප්තැම්බර මාස

ඉන්දු කලුකිච්චා : මාර්තු-සැප්තැම්බර්

බැම සුදු පවන්පෙන්දා : අප්‍රේල්-මැයි

කව්ඩා : පෙබරවාරි – මැයි

පොලොස් කොට්ටෝරුවා: පෙබරවාරි සිට ජූලි (පළමු) අගෝස්තු-සැප්තැම්බර් (දෙවැනි)

රත්-කෑරලා (black-rumped Flameback) : මාර්තු-ජුනි (පළමු) අගෝස්තු-සැප්තැම්බර් (දෙවැනි)

ගේ කුරුල්ලා : වසර පුරාම

ලෝටන් සූටික්කා (Loten’s Sunbird) : පෙබරවාරි-මැයි 

ලාතුඩු පිළිලිච්චා : ජනවාරි-අගෝස්තු

කහ කුරුල්ලා : ඔක්තෝබර්-මැයි

මයිනා: මාර්තු-සැප්තැම්බර්

රෑන ගිරවා: සුවදි සමය නොවැම්බර් සිට ජුනි දක්වා යැයි පොදුවේ සැලකුවත් වසරේ ඕනෑම විටෙක පැටවුන් මෙන්ම සුවැදී හැසිරීම් දැක ගත හැකිවේ

ළයසුදු කොරවක්කා: අප්‍රේල්-අගෝස්තු

බමුණු පියාකුස්සා : ඔක්තෝබර් – අප්‍රේල්

මොණරා : දෙසැම්බර් – මැයි

රත් යටිමල් කිරළා : අප්‍රේල් – අගෝස්තු

අළු කොබෙයියා : සුවැදී සමය අවුරුද්ද මුළුල්ලේම වාගේ පැතිරේ. එහෙත් පෙබරවාරි-ජුනි / අගෝස්තු-සැප්තැම්බර් මුල් තැන් ගනී

නීල මහගොයා : දෙසැම්බර් – මැයි

කොව්ලා : සුවැදී සමය පොදුවේ අප්‍රේල්-අගෝස්තු දක්වා

ඇටි-කුකුළා (Greater Coucal) : සුවැදී සාමය පෙබරවාරි-සැප්තැම්බර් (පළමු) / ඔක්තෝබර් – දෙසැම්බර් (දෙවැනි)

කරපටි කන්බස්සා (Collared scops owl) : පෙබරවාරි-මැයි

ළයසුදු පිළිහුඩුවා : දෙසැම්බර්-ජුනි (මාර්තු/අප්‍රේල් මාස වල සුලබයි)

කොණ්ඩයා : මාර්තු-මැයි  / අගෝස්තු-සැප්තැම්බර්

බට්ටිච්චා: සුවැදී සමය අවුරුද්ද පුරාම පවතී. පෙබරවාරි – මැයි මුල් මාස වේ 

අලුත් අවුරුදු දා ගෙවත්තට නෑගම් ආ කර පටි කන් බස්සෝ

June 29, 2019

Collared Scops Owl is probably the most wide spread owl species in Sri Lanka. They are common in home gardens and Jayathri Dias observed a family of owls just a day after the Sinhala/Tamil new year in April. Quite interestingly, I had a similar experience on April New Year day in 2003 where I observed parents along with 3 baby owls. I managed to feed them cockroaches. I included observations of few others to show this owl is a common garden bird in Sri Lanka. This was published on Vidusara  15.05.2019. 

අලුත් අවුරුද්දේ වැදගත් සංස්කෘතිකමය අංගයක් වනුයේ කද මලු බැද ගෙන නෑදෑ හිතවතුන් බැලීමට යාමයි. සති කීපයකට පෙර සැමරූ මෙවර අලුත් අවුරුදු දා කොට්ටාවේ ජයත්‍රි ඩයස් පලිපාන ගේ ගෙවත්තට අවුරුදු නෑගම් ආවේ නම් වෙනස්ම ආකාරයේ හිතවතුන් පිරිසකි.

පහත දැක්වෙනුයේ රාත්‍රී 8 ට පමණ මේ අමුත්තන් දැකීමෙන් පසු ජයත්‍රි විසින් Facebook මේ පිලිබදව අප්‍රේල් 14 වනදා රාත්‍රියේ දැමු සටහන්කි..

“මේ වේලාවේ……. බස්සො 4 , 5ක් අපිට එක සැරේ පෙන්න ඇවිත් ඉන්නවා…. හරිම සතුටුයි එයලා එච්චර ගොඩක් ඉන්න එක ගැන…..” ඔව්.. ඒ අවුරුදු අමුත්තන් වෙන කිසිවෙක් නොව කුඩා බස්සන් පවුලකි.

“අපි පස්සෙ එයාලා දිහා බලන්න ගියෙත් නැ, එයාලට කරදරයක් වුනොත් කියලා… එත් පස්සෙ රෑ 11 විතටත් ඉන්නවා දැකලා , කාට හරි පෙන්නන්න ඔනි වුනොත් කියලා එක්කෙනෙක්ගෙ photo එකක් ගත්තා…” ජයත්‍රි පසුව සටහන් කළේ බස්සෙකුගේ ජායාරුපයක් ද සමගිනි.

මෙම ජයාරුපයෙන් තහවුරු වුයේ, මේ අවුරුදු අමුත්තා කර පටි කන් බස්සා (Collared Scops Owl) බවයි. කර පටි කන් බස්සා අප බොහොමයක ගේ ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි සුලබම නිශාචර පක්ෂියා වේ.

One of the owl observed at Jayathri Dias’ garden in Kottawa

මයිනකුගේ පමණ තරම් වන මේ බස්සා දිගින් සෙන්ටිමීටර 23-25 පමණ වේ. දුඹුරුවන් හෝ අළුවන් පැහැයක් සහිත උඩු කය සුදෙන් වයිරම් ලෙස ඇත්තේ, පරිසරයට හොදින් අනුගත වීමට උපකාරී වෙමිනි. කන් පිල්ගොනු සහ දුඹුරු ඇසිපහති මගින් සමාන තරමේ අනෙක් බස්සන් ගෙන් වෙන් කොට හදුනා ගත හැකිය. දිවා කාලය අදුරු තැනක – ගස් බෙනයක් හෝ ගෙයක පියස්සක් යට හෝ ගත කරයි. කුඩුවක් නොසාදන අතර බිත්තර ලන්නේ කුහරයකය.

අපගේ ගෙවතු සහ නගරබදව වාසය කරන බස්සන් රැයේ විදුලි පහන් අසල හැසිරෙන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ එම ආලෝකය වෙත ආකර්ෂණය වන කෘමින් මෙන්ම එම කෘමින් අල්ලා ගැනීමට ඒ වෙත ඇදෙන හූනන් වැනි කුඩා සතුන් ද දඩයම් කර ගැනීම පිණිසයි. කුඩා මීයන් ද ඔවුන් ආහාරයට ගන්නේ අපට හානිකර සතෙකු ගේ ගහණය පාලනයට උදව් දෙමිනි.

ගොම්මනේදී තම දිවා නවාතැනෙන් එළියට එන මේ බස්සන් – විශේෂයෙන් ම ඔවුන්ගේ සුවැදී සමයේදී (Breeding season) තම සහකරුවන් අතරට වී නාද කිරීම සිරිතකි. සාමාන්‍යයෙන් බස්සන සියල්ලන් ම නාද කරනුයේ ‘හ්ම්…හ්ම්…’ කියා යැයි අප සිතුවත්, මේ කරපටි කන් බස්සා ගේ නාදය වෙනස් වේ. පක්ෂි විද්‍යාඥ G .M. හෙන්රි ගේ කුරුළු පොතෙහි මෙම නාදය දක්වා ඇත්තේ ‘What’ ඉංග්‍රීසි යන වචනය ‘t’ ගබ්ද නොනැගෙන සේ කියූ විට එන හඩ හා සමාන බවය. එය ‘වුක්’… ‘වුක්’… ලෙස තත්පර 2/3 පමණ අතරක් තබා ‘වු’ යන්න බර කර සිදු කරන නාදයක් නාදයක් ලෙස ද සැලකිය හැකිවේ. මෙසේ එක දිගට විනාඩි කිහිපයක් නාද කිරම මේ බස්සන් ගේ සිරිතකි.

Indian Scops Owl – home garden Kandy (c) Nimal Karunaratne

කෙසේ වෙතත් මොවුන් පැටවුන් සමග සන්නිවේදනයේදී නාදය වෙනස් වන අතර, එය පිඹින හඩක් ලෙස ඇසෙ. කොට්ටාවේ ජයත්‍රි පැවසුවේ ඇයගේ ගෙවත්තට ආ බස්සන්ද හහ්ම් හහ්ම්ම්ම්ම් සද්දෙ වෙනුවට කලවැද්දෙක්, ඌරුමීයෙක් පිබින සද්දයක් මෙන් පිබින සද්දයක් කළ බවයි. ඇයගේ මේ ප්‍රකාශය, මගේ මතකය 2003 අවුරුදු දා රාත්‍රිය වෙත රැගෙන ගියේය. 2003 වසරේ අප්‍රේල් 14 වනදා අවුරුදු නිමාවෙන් පසු දෙහිවල පිහිටි නිවසේ රාත්‍රී 7.30ට පමණ ජයත්‍රි කියූ පරිදිම අමුතුම පිඹින ශබ්දයක් ගෙවත්තෙන් ඇසුණු නිසා එය නිරීක්ෂණය කිරීමට මා එළියට බැස්සේ විදුලි පන්දමත් අතැතිවය. වැඩි වෙලාවක් ගත නොකරම ඒ ශබ්දය නැගු අවුරුදු අමුත්තන් සොයා ගැනීමට මට හැකි විය.

එම අවුරුදු දා අපේ දෙහිවල ගෙවත්තේ සිටියේ හරියටම බස්සන් පස් දෙනෙකි. ඒ දෙමාපිය බස්සන් සමග සිටි පැටවුන් තිදෙනෙකි. සමහර විටෙක එදා මුල්වරට දොරට වැඩි පැටවුන් අවට පරිසරය පිළිබද මහත් විමසිල්ලෙන් පසු විය. විටෙක තම හිස අමුතු ලෙසේ කරකැවූ ඔවුන් තවත් විටෙක ශරීරය පද්දීමකට ලක් කළේය. වහා පහතට පියඹා ආ වැදුණු බස්සකු, හූනකු අල්ලා ගෙන නැවත තම කුඩා පැටවුන් වෙත පියඹා ගියේය.

මෙම නිරීක්ෂණය මට වෙනස්, තරමක පිස්සු අදහසක් ගෙන ආවේ අලුත් අවුරුද්දේ ගෙවත්තට ආ අවුරුදු අමුත්තන්ට සංග්‍රහයක් නොකර යැවීම හොද නැති යැයි හැගුනු හෙයිනි. කුස්සිය අසල ගොඩ ගසා තිබු හට්ටි කිහිපයක් එහා මෙහා කරද්දී දිවගිය කැරපොත්තන් කිහිප දෙනෙකු මදක් අඩපන කර ගෙවත්තේ බස්සන් වසා සිටි අඹ ගස යටින් හෙමිහිට දමා අවේ මේ බස්සන් මගේ අවුරුදු සංග්‍රහය වූ කැරපොත්තන් අල්ලාගෙන කාවිදෝ යි සැකයෙනි.

එහෙත්, හිමිහිට නැවතත දොර දෙසට අඩි කිහිපයක් පිය තබද්දී ම වහා පහතට පියඹා ආ වැදුණු බස්සෙකු, අර කරපොත්තකු අල්ලා ගෙන එක්ෂණයෙන් නැවත පැටවුන් වෙත පියඹා ගියේ ඔවුන්ට කැවිමටය. අවුරුද්දේ ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් වෙන් කල කැවුම් කොකිස් වෙනුවට, මගේ අවුරුදු අමුත්තන්ට මේ කැරපොත්තන් පිළි ගැන්වීමට ලැබීම නම් මට මහත් සතුටක් විය. එම ක්‍රියාව එක්තරා ආකාරයක පවක් වුවත්, මේ බස්සන් ගේ ප්‍රතික්‍රියාව නිරීක්ෂණය කිරීමේ ආශාව ඊට වැඩි වූ නිසා, කීප වරක්ම මේ බස්සන්ට ඒ ‘කැරපොතු අවුරුදු සංග්‍රහය’ කළෙමි.

කරපටි කන් බස්සන් ගේ සුවැදි සමය (breeding season) පෙබරවාරි සිට මැයි දක්වා වේ. බිත්තර 2ක් හෝ 3ක් ගසක් බෙනයක, අතහැර දැමු ගොඩනැගිල්ලක කුහරයක හෝ වෙනත් බාධාවල් අඩු තැනක් බිත්තර දැමීම සදහා තෝරා ගනී. දෙමාපියන් තම පැටවුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ, කැදැල්ල අසලට ළඟාවීමට නොදෙමිනි.

මේ අපි ගෙවන්නේ කර පටි කන් බස්සාගේ සුවැදී සමයේ අවසන් කොටස නිසා, ගෙවතු ආශ්‍රිත ව ජිවත් වන බොහෝ බස්සන් පවුල් වලට අලුත් සාමාජිකයන් එකතු වී සිටීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඒ නිසා ඔබත් මේ දිනවල රාත්‍රියේ ගෙවත්ත නිරීක්ෂණය කිරීමට යොමු වන්න. මේ බස්සන් ගේ නාදය අසේනවාදැයි අවධානයෙන් සිටීම, කරපටි කන් බැස්සා සොයා ගැනීමට ඇති ලේසිම ක්‍රමයයි. සමහර ගෙවතු වල මෙම බස්සන් දහවල සැගවී ගත කරනවා වන්නටත් පුළුවන්. ඉතින් ඔබගේ ගෙවත්තෙනුත් මෙවැනි නිශාචර කුරුල්ලන් – බස්සන් නිරීක්ෂණය කර තිබේ නම්, ඔබගේ අත්දැකීම් නුත් ‘ගෙවත්තේ ජෛව විවිධත්තවය’  වෙත යොමු කරන්න.

Muwanhelawatta road, Malabe 2013 (c) Ajith Gamage

Indian Scops Owl – home garden Kandy (c) Nimal Karunaratne

Little owls can be funny sometimes – Nov.2017 (c) Nimal Karunaratne

මේ බොහෝ කුරුළු පැටවුන් දොරට වඩින කාලයයි

පසු ගිය සතියේ ලියැවුනු පිළිහුඩු කැදැල්ල මෙන්ම, මෙම සතියේ මෙම බස්සන් පවුල ගැන ලිපියෙන් ද තහවුරු වනුයේ, මේ කාලය බොහෝ කුරුලු පැටවුන් දොරට වඩින සමයක් බවයි. පසුගිය සති කිහිපයේ දීම බොහෝ දෙනෙකු තමන් දුටු කුරුළු කැදලි මෙන්ම කුරුළු පැටවුන් ගේ ජයාරූප ද අප වෙත ඒවා තිබුනු අතර කැදලි වලින් වැටුණු කුරුළු පැටවුන් ට උදව් කරන්නේ කෙසේද කියා අසා යොමු කළ විමසුම් ද තිබු හෙයින්, ලබන සතියේ දී එවැනි කුරුළු පැටවෙකු ට උපකාර කරන්නේ කෙසේද යන්න පිලිබදව ත් සොයා බලමු.

ඔබ ගේ ගෙවත්තේ ත් මෙවැනි කුරුළු කැදැල්ලක් හෝ ලගදී දොරට වැඩි කුරුළු පැටවුන් නිරීක්ෂණය කර ඇත්නම් එවැනි අත්දැකීම් ද ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ වෙත එවන්න. ගෙවත්තේ ඔබගේ නිරීක්ෂණයන් විදුසර පුවත් පත හරහා හෝ කෙළින්ම විද්‍යුත් තැපෑල මගින් malaka.rodrigo@gmail.com ලිපිනයට හෝ 0789330076 යන ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් හෝ දන්න්වන්න.

ඔබගේ වැදගත් නිරීක්ෂණයන් මේ ලිපි පෙළ හරහා ඉදිරිපත් කිරීමට ද අවකාශ ලබා දීමට බලාපොත්තු වන්නෙමු.

PAGE 07_3 (1)Published on Vidusara 15.05.2019

නොනගතයේ කුරුළු නැරඹුම – අලුත් අවුරුදු නැකත් මායිම් නොකළ පිලිහුඩු දෙමාපියෝ

June 29, 2019

Sinhala/Tamil new year (Aluth Avurudu) is a main cultural event in Sri Lanka. Inorder to spend a ‘Natureful new year’, I stepped out to enjoy birds in our garden along with my daughter on morning of 14th of April. We observed many birds along with a Kingfisher nest. After a long pause, I restarted my regular column ‘Biodiversity of Home gardens’ with this article published on 01.05.2019 on Vidusara Science Weekly.

පසුගිය සතියේ සැමරූ අප්‍රේල් අලුත් අවුරුද්ද අපේ ඉහළම සංස්කෘතික උත්සවයයි. අලුත් අවුරුදු උදාව, ආහාර පීසිම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ආදී දේ නියමිත වෙලාවකට නැතහොත් නැකතකට සිදු කිරීම අලුත් අවුරුද්දේ දී පිළිපදින සම්ප්‍රදායික චාරිත්‍ර වන අතර, ‘නොනගතය’ නැතහොත් සුබ නැකැත් නොමැති කාලයේ දී ආහාර ගැනීම ඇතුළු සියලු වැඩවලින් ඉවත් වී සිටිය යුතු බව දැක්වේ.

අප ගෙවත්ත අසල කැදැල්ල සොයා ගැනීමට සතියකට පමණ පෙර කදාන ප්‍රදේශයේ නිරීක්ෂණය කළ පිලිහුඩු පැටවෙකුගේ දොරට වැඩුම (c) Luigi Fernando

මේවර මෙම ‘නොනගතය’ යෙදී තිබුනේ උදෑසන වරුවේ නිසා වෙනත් විශේෂ වැඩක් කරන්නට එපා යැයි කියවෙන නොනගතය පරිසරයත් සමග ගතකරන්න ට සිතා ගත මම දියණියත් සමග ගෙවත්තට පිළිපන්නෙමු.

අවුරුද්ද ලැබීම සනිටුහන් කරමින් පත්තු කල රතිඤ්ඤ හඩින් බියපත් වී දෝ, වෙනදා ගෙවත්තේ උදෑසන සුලබව දක්නට ලැබෙන කුරුල්ලන් දක්නට නොලැබිණි. අලුත් අවුරුද්දේ පණිවිඩ කාරයා ලෙස සැලකෙන කොහා ගේ ගීතය ද වෙනදා උදයේ ඇසෙන මුත්, මේ අවුරුදු දා අප ගෙවත්ත අවට සිටි කොහා ලා ගේ ද ශබ්දයක් නොමැති විය.

එක වනම අහසින් සුදු පුළුන් ගුලි දෙකක් පාත් වෙනවා මෙන්, අප ගෙවත්ත අසල තිබු උස පොල් ගසට පියඹා විත් වැසුවේ සුදු මහ-කොකුන් (Great Egret) ජෝඩුවකි. මින් පෙර කිසිදාක සුදු මහා-කොකා අප ගෙවත්ත අසලින් වාර්තා වී නොතිබුණු නිසා, මෙය විශේෂ නිරීක්ෂණයක් විය. සමහර විට අසල තෙත් බිමක සිටි මෙම සුදු මහා-කොකුන් රතිඤ්ඤ හඩින් බියපත් වී අප ගෙවත්ත අසලට ආවා වන්නට පුළුවන.

අප ගෙවත්තේ දිය බදුනෙන් දිනපතා නෑමට පුරුදු වී සිටින කොන්ඩ කුරුල්ලන් (Red-vented Bulbul) ජෝඩුව මද වෙලාවකින් අප ගෙවත්තට පැමිණි අතර, තම ප්‍රියතම වේදිකාව වූ කණුව උඩින් ලැගගත් අළු කොබෙය්යා (Spotted Dove) තම උදෑසන ගීය ගායනා කරන්නට පටන් ගත්තේ වෙනදාට වඩා පමාවිලා ය. දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත නිතඹ-රත් වැහිලිහිණින් (Red-rumped Swallow) රංචුව ක් එකිනෙකා පරයා රවුමට පියාඹන්නට වුයේ උදෑසන ව්‍යායාමයට මෙනි.

අවුරුදු දා මහා රන්ඩුවකට පැටලුණු හොට පටලවා ගත පොලොස් කොට්ටෝරුවන් (Brown-headed Barbet) දෙදෙනෙකු දෙපසට වුයේ, ගෙවත්තේ කාමරන්කා ගසේ පහලට රූටා විත් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තියා ය. දෙන්නා දෙපස ට වුවත් යළිත් කොයි මොහොතක හෝ රණ්ඩුව පටන් ගැනීමට මෙන් හොටය විවෘත කරගෙන එකිනෙකාට තර්ජනය කරන ලිලවෙනි.

අප මේ සියල්ල නිසොල්මනේ බලා හිදිද්දී මහා හඩින් කෑ ගසමින් විත් අප ඉහලින් ම තිබු කම්බියේ ලැග ගත්තේ ළය-සුදු පිළිහුඩුවෙකි (White-throated Kingfisher). අප ගැන කිසි තැකීමක් නොකළ පිළිහුඩුවා හිස අමුතු ඇළයකට කරකවමින් නිරීක්ෂණය කළේ ගොදුරක් බව දැන සිටියත්, කුරුල්ලාගේ ඉලක්කය අප මිදුලේ තිබූ තරමක් විශාල මානෙල් මල් වග කල සිමෙන්ති බේසමේ දමා සිටි ගප්පි මාළුවෙකු බව තේරුම් යනවිට පමා වැඩිවිය. එක්ෂණයකින් පහලට පියඹා ආ පිලිහුදුවාට මාළුවා ඩැහැ ගැනීමට ගත වුයේ තත්පරයකටත් අඩු කාලයකි. මාළුවා අඩ පණ කිරීමට කම්බියේ දෙපැත්තේ කිහිප වරක් ගැසූ පිළිහුඩුවා එක් වරම නැවතත් ගෙදර පාර දෙසින් බිමට බැස්සේ මාලුවාද හොටයේ සිර කරගෙනමය.

පිළිහුඩු කැදැල්ල පෙන්වන මාගේ දියණිය

පිළිහුඩුවා වැසූ තැන සෙවීමට පාරට ගොස් ඒ අසලින් ගලා යන තරමක් විශාල කාණුව ද හොදින් නිරීක්ෂණය කළත් පිළිහුඩුවා ගේ වගක් වත් සොයා ගැනීමට නොහැකි විය. විනාඩි කීපයකින් අප දෙදෙනා ම තාප්පයේ වූ තරමක් විශාල බටයකින් පිළිහුඩුවා මතු වුයේ අප දෙදෙනාම පුදුමයට පත් කරමිනි. අප දෙදෙනා අතාරින විදුලි වේගයෙන් පියඹා ගිය පිළිහුඩුවා අසල කම්බියේ වසා මහා හඩින් නද කරන්නට වුයේ අපගේ පැමිණීම කරදරයක් වූ බව දන්වමිනි.

පිළිහුඩුවා ට ඉඩ දෙමින් අප මදක් පසුපසට විත් බලා හිදිද්දී, තවත් සතෙකු අල්ලාගත් කුරුල්ලා නැවතත් පයිප්පය ඇතුලට ගියේ එතැන පිලිහුදුවාගේ කැදැල්ල ඇති බව නිරාවරණය කරමිනි.

පිළිහුඩුවන් සාමාන්‍යයෙන් ළිං ඉවුරක හෝ ජලය ආශි‍්‍රතව ඉවුරක උමගක් සාදා එහි කෙළවර කැදැල්ල ලෙස යොදා ගනී. හරාගැනීමට සුදුසු පසක් සහිත ස්වාභාවික ඉවුරක් නොතිබූ අප ගෙවත්ත අසල ජිවත් වූ මේ පිලිහුඩු යුවල ඒ වෙනුවට යොදා ගත් විකල්පය නිර්මාණාත්මකයි නේද..? විශේෂයෙන්ම මේ පයිප්පය පිහිටියේ තරමක් උසින් නිසා, විලොපිකයෙකුටවත් ඒ වෙත ලගා වීම අපහසුය.

අප මේ පිළිහුදු කැදැල්ල නිරීක්ෂණය කළේ අවුරුද්දේ නොනගතය වේලාවේදීය. නොනගතයේ දී ආහාර අනුභවයෙන් ද වැළකී සිටිය යුතු නමුත්, මේ පිලිහුඩු දෙමාපියන්ට නම් අවුරුද්දේ වගක් වත් නොතිබුනේ, අවුරුදු චාරිත්‍ර වලට වඩා තම පැටවුන් බඩගින්නේ නොතිබීමේ අභිලාශය නිසාවෙන්  මෙනි.

වෙනත් කොහෙන් දෝ අල්ලාගත් තවත් කුඩා මාළුන් කීප දෙනෙකු, ගැඩිවිල්ලන්, කටුසු පැටවෙකු, හුනකු මෙන්ම කුඩා තලගොයි පැටවෙකු ද අල්ලා ගෙන කැදැල්ල වෙත මේ පිළිහුඩු දෙමාපියෝ එන අයුරු, ‘නොණගත කුරුළු නැරඹුමේ’ දී නිරීක්ෂණය කලෙමු.

මේ ලිපිය ලියන අප්‍රේල් 22 වනදා වන විට, මෙම පයිප්ප කැදැල්ල අසලට ගිය විට ඇතුලින් පිලිහුඩු පැටවුන් ගේ හඩ ඇසෙන අතර, තවත් නොබෝ දිනකින් ම මේ පැටවුන්ගේ ‘දොරට වැඩුම’ සිදුවනු ඇතැයි අප සැවොම බලාපොරොත්තුවෙන් පසුවන්නෙමු.

(Here is the eBird log for birding on Avurudu day 14.04.2019 https://ebird.org/view/checklist/S54932173)

පිළිහුඩු දෙමාපියෝ

ආහාර රැගෙන යන වැඩිහිටි කුරුල්ලා

පිළිහුඩුවන් බිත්තර දමා පැටවුන් දැඩි කරනුයේ මෙවැනි ගැන ඉවුරක වැනි තැනක සදා ගත කුඩා උමගකය. මේ මල් පිලිහුදුවකු (Common kingfisher) කැදැල්ලකි.

ගෙවත්තේ රැඟුම් වැයුම් දක්වන වැලන්ටයින්ලා

February 25, 2018

Published on විදුසර 21.02.2018 as part of my series of articles ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ [Biodiversity of Home gardens]. Click on this link to open a .pdf of the page – ගෙවත්තේ රැඟුම් වැයුම් දක්වන වැලන්ටයින්ලා – Vidusara 21.02.2018

පසුගිය සතියේ පෙබරවාරි 14 දා ආදරවන්තයන් ගේ දිනය (Valentine’s Day) ලෙසින් සැමරීම ට බොහෝ ආදරවන්තයින් සහ සහකාරියකගේ සිත දිනාගැනීමට උත්සාහ කරන වැලන්ටයින්ලා විසින් සමරන්නට යෙදිනි. කඩවල් වල හොදින් අසුරා ඇති ලස්සන රෝස මල් කලඹක් හෝ රසවත් චොකලට් එකක් ලබා දී තම ආදරවන්තිය සතුටු කිරීමට උත්සාහ ගත් ආදරවන්තයෝ බොහොමයකි. වැලන්ටයින් දිනයට සිමා නොවී ගැහැණු ළමයකු සමග යහලු වීමට උත්සාහ ගන්නා කාලයේ දී අනෙකුන් පරයා තමන් ගේ කඩවසම් බව හෝ හැකියාව ඉස්මතු වන ලෙස ඇය ඉදිරියේ හැසිරීම ද අපට නිතර දක්නට ලැබෙන දෙයකි. ඇය සමග යහලු විමට ඉදිරිපත් වූ අනෙකෙකු ද පසු නොබා ආවිට තම සිතගත් කෙනා අයිති කර ගැනීමට සිදු කරන “ආදර යුද්ධ” ද එදා මෙන් ම අදත් යවුවනයන් අතර ප්‍රචලිච ය. මේවයෙන් සමහර ගැටුම් වචනයෙන් බැන ගැනීම් වලට සීමා වුවත්, සමහර ගැටුම් අතින් පයින් එකිනෙකා තුවාල සිදුවන,තරමට ම දරුණු වේ.

Masters of courtship display – the Birds of Paradise

මෙසේ තම ආදරවන්තියක් දිනා ගැනීමේ අරමුණින් ම සිදු කරන ක්‍රියාවන් මෙන් ම සටන් ද මිනිස් සමාජයේ පමණක් නොව, සත්ව ලෝකයේ ත් දක්නට තිබේ. තම ආදරවන්තිය ගේ සිත දිනා ගැනීමේ අරමුණින් ම ඉදිරිපත් කරන රැගුම්, ගැයුම් සත්ව ලෝකයේ ද බහුල වේ. සමහරෙකුගේ පැහැය වැඩි කර ගෙන සහකාරියක දිනාගැනීමට උත්සාහ ගැනී. වැලන්ටයින් දිනයේ මෙන්ම තම ආදරවන්තිය ට තෑගි ලබා දෙන ආදරවන්තයෝ ද මේ අතර වෙති.

මෙවැනි හැසිරීම් courtship display ලෙස ඉන්ග්‍රීසියෙන් හන්දුන් වන අතර ‘පෙර පෙම’ ලෙස සිංහලෙන් හඳුන්වයි.

නැටුම් ඉදිරිපත් කරන කුරුල්ලන් බොහෝමයක් වෙති. මේ අතරින් පැපුවා නිව් ගිනියා රටෙහි කැළෑ වල වාසය කරන Birds of Paradise නම් වූ කුරුල්ලන් වර්ග කිහිපය ඉදිරියෙන් ම වෙති. කැළයේ සමතලා බිමෙක කොළරොඩු ඉවත් කර පිරිසිදු කරගත් වේදිකාවක මේ කුරුල්ලන් තම රන්ගනය ඉදිරිපත් කරයි.

සමහර කුරුල්ලන් ගේ පෙනුම සුවැදි සමයේ දි වඩා දීප්තිමත් වේ. දීප්තිමත් වර්ණ ඇති පිරිමි සතුන් බොහෝවිට කිරිල්ලිය ගේ ප්‍රමුඛ තේරීම ට ළක්වෙන්නේ, මිනිස් සමාජයේ ද හොන්දින් ඇද පැළද ගත් පිරිමින්ට කාන්තාවන් ගේ ආකර්ශනය වඩා ලැබෙන ආකාරය පසක් කරමිනි.

සහකාරියව ආකර්ෂණය කර ගැනීමට ගී ගයන කොහා (ච) Challiyil Eswaramangalath Vipin

තවත් සමහර කුරුල්ලෝ ආදරවන්තිය ක් දිනා ගැනීම උදෙසා ගී ගයති. නැටුම් වලින් ඉතාමත් දක්ශයෝ නැතිවුවත්, තම සහකාරිය දිනාගැනීමට ගී ගයන කුරුල්ලන් අතරින් ලස්සනම ගීයක් ගයන කුරුල්ලෙක් නම් අප සැවොම ගේ ම පාහේ ගෙවතු වල දක්නට ලැබීම අපගේ වාසනාව ක් නොවේ ද..?? හැබැයි මේ ආදරවන්තයා තම ගී ගැයීමට තෝරා ගෙන ඇත්තේ, Valentine’s Day යෙදී තිබෙන පෙබරවාරිය නොව අප්‍රේල් මාසයයි. ඒ වෙනෙකෙකු නොව අප සැවොම දන්නා කොහා ය.

කොහා (Asian Koel) වසර පුරාම අප අවට දැක ගත හැකි කුරුල්ලෙකි. අනෙකුත් කාලවලදී මෙන් නොව, අප්‍රෙල් මාසයේදී කොහා නාද කරනුයේ තම රැහේ කිරිල්ලිය ක ආකර්ශනය කර ගැනීමටය.

නන්දනීය ගීයක් ගයමින් සහකාරිය ක් දිනා ගැනීමට උත්සාහ ගන්නා අපේ ගෙවත්තේ සිටින තවත් කුරුල්ලෙකි පොල්කිච්චා (Oriental Magpie-robin). ඉහල ස්ථානය ක සිට තම මියුරු නාදයෙන් තම වසම තහවුරු කරනා පිරිමි පොල්කිච්චා කිරිල්ලිය වටා රන්ගනය ක් ද ඉදිරිපත් පත් කරයි. පිහාටු  පුම්බා ගෙන, හොටය ඉහල ට කරගෙන කිරිල්ලිය  වටා මේ රන්ගනය කරන්නේ ඇයව තම වසගය ට ගැනීමටය.

පොල්කිච්චාගේ රැඟුම (C) Amar Singh

තම සහකාරිය ගේ සිත දිනාගැනීම ට රැගුමක් ඉදිරිපත් කරන තවත් කුරුල්ලන්  කිහිප දෙනෙකු ම අපගේ ගෙවතු හා ඒ අවට දැක ගත හැකිවේ. මේ අතරින්, අලු කොබෙයියා එක් කුරුලු විශේෂයක් පමණි. හින්දි චිත්‍රපටවල මෙන්ම ඒවා කොපි කර හැදූ සිංහල චිට්‍රපටවලත් ගීයක් ගයමින් තම පෙම්වතිය වටා නටන ආදරවන්තයන් ඔබත් දැක ඇතිවාට සැක නැත. සින්දු කියමින් පෙම්වතියට සමීප වන දසුන් මෙන් ම, ඈත සිට එක පිම්මේ ඇය වෙත දිව එන දසුන් ද මේ ගීත වල නිතර දකින්නට ලැබේ. මේ හා සමාන දසුනක් ඔබගේ ගෙවත්තේ සජීවීව ම ඉද හිට බලා ගත හැකි බව ඔබ දැන සිටියේ ද..? අපේ ගෙවත්තේ රගන මේ දර්ශන වල නළුවන් අළු කොබෙයියන් ය.

සුවැදි සමයේ දි (breeding season) ඉහල අහසට පියඹන පිරිමි අලු කොබෙයියා, එක්වර පහත ට පාවී එන්නේ පියාපත් විදහාගෙනය. ගැහැනු අලු කොබෙයියා වටා ඔලුව නවා ගෙන බෙල්ලේ පිහාටු පුප්පා ගෙන නාද කරමින් අනග රැගුමක් නටන අයුරු ද ශබ්ද නගමින් සෙමි සෙමින් තම පෙම්වතිය වෙත ලගා වෙන අයුරුත් අළු කොබෙයියන් යුවල දෙස අවධානයෙන් බලා සිටිය හොත් දැක ගත් හැකි වනු ඇත. සාමාන්‍යයෙන් යුවලක් ලෙස ගැවසෙන අළු කොබෙයියා චිත්‍රපට වල රගන නළු නිළියන් විසින් කරනා රැවටීමක් මෙන් නොව, නියම ආදරවන්තයන් ලෙස එකිනෙකාට ලැදියාවෙන් දිවිය පුරාම එක්ව සිටින බව පැවසේ.

ගෘහාශ්‍රිත පරෙවියන් ද ගෙල පෙදෙසේ පිහටු පුම්බාගෙන කිරිල්ලියන් වටා රන්ගනය ක යෙදෙනවා ඔවුන් දෙස අවදානයෙන් බැලුවහොත් බොහෝ විට ඔබට නිරීක්ෂණ ය කරන්නට ලැබෙනු ඇත.

පිළිහුඩුවා ගේ පෙරපෙම රැඟුම (ච) Akshay_Charegaonkar

තම සහකාරිය ට තෑගි ලබා දෙන අපේ ගෙවත්තේ අසල්වැසියන් අතර ළය-සුදු පිළිහුඩුවා (White-breasted Kingfisher) ප්‍රමුඛ වේ. එහෙත් වැලන්ටයින් දිනයේ පෙම්වතුන් ලබා දෙන සුවද හමනා තෑග්ගක් වෙනුවට පිළිහුඩුවා තම සහකාරිය ට ලබා දෙන්නේ පිලී ගන්ද ගසන පණ ගසනා මාලුවෙකි. නැතහොත් හොන්ඩින් වැඩුනු පණුවෙකි. වැලන්ටයින් දිනයේ රස විදින චොක්ලට් පෙත්තක මිහිර, මේ තෑග්ගේත් පිළිහුඩුවා ට ලැබෙන වා වන්නට ඇත. පියාපත් විහිදා වලිගය ගස්සමින් හොටය ඉහළට කර ශබ්දයක් නගා පෙරපෙම පෙන්වන රංගනයක යෙදෙන පිළිහුඩුවන් ඔබ ගෙවත්ත අවටත් උදැසනම මේ කාලයේ දී දැක ගත හැකි වනු ඇත.

රෑන ගිරවා (Rose-ringed Parakeet) ද ගෙවත්තේ දැකගත හැකි ආදරවන්ත හැසිරීම් දක්වන කුරුල්ලෙකි. හොට පටලවා ගනිමින් දක්වන හැසිරීම සිපගැනීමක් සිහිගන්වයි. අප සැවොම දන්නා තවත් මනරම් courtship display එකකි පිල්විදහා දක්වන මොනරාගේ මනරම් රන්ගනය. දැන් දැන් සමහර පෙදෙස් වල ගෙවතු වලින් ද වාර්තා වන මොණරා ගේ රන්ගනය නම් ලෝකයේම ප්‍රසිද්ධ රන්ගනයකි.

අලුකොබෙයි යුවලක් (ච) රිශානි ගුනසිංග

කුරුල්ලන් ඈත අතීතයේ සිටි ඩයිනෝසරයන් ගෙන් පරිණාමය වී ඇතැයි සැලකේ. 2016 දී සිදුකල විද්‍යාත්මක පරීක්ෂණ ය ක සොයා ගෙන තිබුනේ, සමහර ඩයිනෝසරයන් ද අද කුරුල්ලන් විසින් සිදුකරන ආකාරයේ  මෙවැනි courtship display හි යෙදුනු බවයි . ඩයිනෝසරයන් ගේ ෆොසිල හමුවූ ස්ථාන කීපයකින් ම බිම පාෂාණ වල එකම රටාවකට පාහේ පාද තැබීමෙන් ඇති වූ සළකුණු අධ්‍යයනය මගින් මේ පරීක්ෂකයින් මෙම නිගමනයකට එළඹී තිබේ.

සහකාරිය ක් දිනා ගැනීමට කරන මෙවන් රන්ගනය යන් විටෙක කුරුල්ලාට අවාසි දායක අවස්ථා බොහොය. පලමුව පිරිමි කුරුල්ලන් මේ කාලයේ දී වඩා වර්ණවත් වේ. මෙසේ වඩාත් වර්ණවත් වීමක් යනු විලොපිකයන්ට ගේත් අවධානය වඩාත් ම යොමු වීමකි. අනෙකුත් පිරිමි කුරුල්ලන් සමග සටනකින් තුවාලයක් වුවහොත් එයත් අවාසිය කි. එහෙත් පරිණාමයේ දී හොඳම ජාන ඉදිරියට ගෙනයාමේ ක්‍රමවේදයක් ලෙස මෙම පෙරපෙම් චාරිත්‍ර ඇතිවූ බව පිළිගත් මතයකි.

පෙරපෙමට මෙතරම් කාලයක් හා ශ්‍රමයක් වැය කලත්, කුරුල්ලන් අතර ලිංගිකව හැසිරීමට නම් ගතවන්නේ ඉතාමත් කුඩා කාලයකි. ක්ෂිරපායින්ට මෙන් පිරිමි සහ ගැහැණු ලෙස වෙනස් වූ ලිංගික අංග කුරුල්ලන්ට නොමැති අතර, cloaca නැතහොත් Vent ලෙස හදුන්වන වන, වසුරු පිට කිරීමටත් භාවිත වන සමාන විවරය න් පිරිමි මෙන්ම ගැහැණු කුරුල්ලාට ද තිබේ. ලිංගික එක්විමකදී කිරිල්ලිය තම වලිගය පසෙකට කර ඇයගේ Cloaca විවරය නිරාවරණය කරන අතර, ඇයගේ පිට මත නැගී පිරිමි කුරුල්ලා තම Cloaca විවරය ඒ මත සමපාත කර ශුක්‍රාණු පිට කිරීමක් සිදු කරයි. මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ගතවන්නේ තත්පර කිහිපයක් පමණි.

සුවැදී සමයන් (Breeding Season) කුරුලු වර්ගයෙන් වර්ගයට වෙනස් වේ. එහෙත් හොඳින් නිරීක්ෂණය කළහොත් පෙරපෙම චාරිත්‍රයේ යෙදෙන කුරුල්ලන් මෙන්ම ඔබ නිවස අසල කැදලි තනන කුරුල්ලන් ද ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ කුරුල්ලන් කැදලි තනන්නේ විවිධ ආකාරයට වන අතර, ඔබ ගේ ගෙවත්තෙත් වැඩිපුර ගස් වවා ඔවුන්ට හිතරක පරිසරයක් නිර්මාණය කළහොත්, වසර පුරාම ඔබගේ ගෙවත්ත කුරුල්ලන්ගේ ආදරයෙන් පිරිණු ස්ථානයක් වනු නිසැකය.

මොනරාගේ නැටුම

වැඩි අවධානයක්‌ නො ලැබෙන ශ්‍රී ලංකාවේ කැළෑ බළල්ලු

February 21, 2018

Published as the cover story of Vidusara on 14.02.2018.

ලෝකයේ බිළාල කුලයේ සාමාජිකයන් 40 දෙනෙකි. මෙයින් 33 දෙනකු ම අයත් වන්නේ කුඩා බිළාලයන් (small wild cats) කොටසට වේ. විශාල ගණයේ බිළාල සාමාජිකයන් 7 දෙනා ගැන නම් ඔබ බොහෝ දේ දන්නවා නිසැක ය. ව්‍යාඝ්‍රයා, සිංහයා, ජගුවරයා මෙන්ම කොටියා ද මේ කොටසට අයත් ය. බළලුන් විද්‍යාත්මකව වර්ග කිරීමේ දී ක්‍ෂීරපායි වර්ගයේ, කානිවෝරා ගෝත්‍රයේ, ෆෙලීඩේ කුලය ලෙස වර්ග වන අතර, ශ්‍රී ලංකාවේ මේ කුලයේ සාමාජිකයන් 4 දෙනකු ස්‌වාභාවිකව වාර්තා වේ.

ශ්‍රි ලංකාවේ මේ බිළාල පවුලේ සිටින විශාලතම සාමාජිකයා කොටියා ය (Leopard). මීට අමතර ව තවත් කැළෑ බළලුන් වර්ග 3ක්‌ සිටියි. කොටියා ගැන විශාල අවධානයක්‌ ඇතත්, අනෙකුත් කැළෑ බළලුන් පිළිබදව නම් අප දන්නා දේ බොහෝ සීමිත ය. හදුන් දිවියා, බළල් දිවියා (වල් බළලා) සහ කොළ දිවියා ශ්‍රී ලංකාවේ ස්‌වාභාවිකව දැකගත හැකි වල් බළලුන් වේ. හදුන් දිවියා යම්තාක්‌ දුරකට හැඳිනුවත්, අනෙකුත් වල් බළලුන් දෙදෙනා පිළිබදව අවධානය ඉතා ම අඩු ය.

ශ්‍රී ලංකාවේ වාසය කරන මේ වල් බළලුන් සියල්ල ම පාහේ පොදු ආහාර දාමයන්හි ඉහළ පුරුක්‌ වන අතර ඔවුන් අතර සමාන හැසිරීම් රටා බොහොමයක්‌ ඇත. සියලු ම වල් බළලුන් නිශාචර වන අතර, ඔවුහු තමන්ට අනන්‍ය ප්‍රදේශයක්‌ වෙන් කරගෙන ජීවත් වෙති. බොහෝ විට හුදකලා දිවියක්‌ ගත කරන අතර රංචුවක්‌ ලෙස දක්‌නට නො ලැබේ.

කොටියා පිළිබද විවිධ පර්යේෂණ බොහොමයක්‌ සිදු වුවත්, මේ වල් බළලුන් පිළිබදව ශ්‍රී ලංකාවේ එතරම් විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට නොමැත. සංරක්‌ෂණය පිණිස මේ සතුන් පිළිබද ව විද්‍යාත්මක අධ්‍යයනයක්‌ ඉතා ම අවශ්‍ය වන අතර මේ සදහා මෑතක දී යොමු වූ තරුණ පර්යේෂකයන් දෙපළක්‌ වූ අන්‍යා රත්නායක සහ අශාන් තුඩුගල මේ සත්ත්වයන් – විශේෂයෙන් ම හදුන් දිවියන් පිළිබදව සිදු කරන පර්යේෂණ ඇගයීමට ලක්‌ කළ යුතු වේ.

අන්‍යා රත්නායක ගේ පර්යේෂෂණය මූලික ව ම නගරාශ්‍රිත ව තවමත් වාර්තා වන හදුන් දිවියන් පිළිබදව ය. වසර 2014 දී ආරම්භ කළ නගාරාශ්‍රිත හදුන් දිවියන් අධ්‍යයන ව්‍යාපෘතිය “Urban Fishing Cat Project” ලෙස නම් කර ඇති අතර මේ ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ම කොළඹ අවට ගැවසෙන හදුන් දිවියන් පිළිබදව බොහෝ පර්යේෂණ සිදු කර තිබේ.

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව සිදු කෙරෙන මේ පර්යේෂණයේ දී සොයාගත් කරුණක්‌ වූයේ, ඉතිරි ව ඇති තෙත් බිම් ආශ්‍රිත ව තවමත් හදුන් දිවියන් ජීවත් වන බව ය. මේ ප්‍රධාන තෙත්බිම්වලින් තරමක්‌ ඈත ප්‍රදේශවලින් ද හදුන් දිවියන් වාර්තා වී තිබුණේ ඔවුන් ගේ පරිසරයට හැඩගැසීමේ හැකියාව මොනවට පැහැදිලි කරමිනි. දහවල සැගවී සිට රාත්‍රියේ දි ක්‍රියාත්මක වන හදුන් දිවියා ගේ ජීවන රටාව මෙසේ මිනිසුන් ගෙන් වසන් වී ඔවුන් අසල ම ජීවත් වීමට ඔවුනට උදව් වී තිබෙන බව අන්‍යා අප හා පැවසුවා ය.

“වරක්‌ ඉතා ම ජනාකීර්ණ කොළඹ 6 ප්‍රදේශයෙන් ද හදුන් දිවියකු වාර්තා වූවා” අන්‍යා අප සමග බෙදා ගත්තේ රසවත් කථාවකි. කොළඹ 6 ප්‍රදේශයේ ගෙවත්තක පොකුණක සුරතලයට ඇති කළ ඉතා වටිනාකමකින් යුතු කාෆ් වර්ගයේ මත්ස්‍යයන් එකා දෙන්නා අඩු වන බව දැනගත් ගෙහිමියා, ඒ අසල වූ CCTV කැමරාව පොකුණ දෙසට යොමු කළේ සොරා අල්ලාගැනීමට ය. එදින උදෑසන ද පොකුණේ විශාල මත්ස්‍යයන් කිහිප දෙනකු ම අඩු ව තිබූ නිසා, කෝපයට පත් ගෙහිමියා CCTV කැමරාවේ සටහන් වුණු දර්ශන නිරීක්‌ෂණය කළේ සොරා අල්ලාගැනීමට ය. එහෙත් කැමරාවේ සටහන් ව තිබූ දර්ශනය ඔහු මවිතයට පත් කළේ ය. CCTV කැමරාවේ සටහන් ව තිබුණේ සොරකු මෙන් කානුවක්‌ අස්‌සෙන් ගෙවත්තට හෙමිහිට ගාටන හදුන් දිවියෙකි. පොකුණේ ගැට්‌ටේ සිට නිසොල්මන් ව පිහිනන මාළුන් නිරීෂණය කර කුරුමානම් අල්ලා මාළුවකු අල්ලාගන්නා ආකාරය CCTV කැමරාවේ මනා ව සටහන් ව තිබිණි.

මීට අමතර ව පසුගිය වසරේ දී ඉතා ම ජනාකීර්ණ බොරැල්ල (කොළඹ 8) ප්‍රදේශයෙන් ද කුඩා හදුන් දිවි පැටවකු හමු වී තිබිණි.

තවත් තරුණ පර්යේෂකයකු වූ පේරාදෙණිය සරසවියේ අශාන් තුඩුගල විසින් 2013 දී The Save fishing Cat Conservation Project (හදුන් දිවියන් සංරක්‌ෂණ ව්‍යාපෘතිය) ආරම්භ කරන ලද අතර, විශේෂයෙන් ම මහනුවර ඇතුළු කදුකරයේ ජීවත් වන වල් බළලුන් පිළිබද ව පර්යේෂණ එමඟින් මෙහෙයවනු ලබයි.

මහා මාර්ග හරහා පැනීමේ දී බොහොමයක්‌ හදුන් දිවියෝ අනතුරට පත් වෙති. තෙත් බිම් සහිත ප්‍රදේශවල දී මෙලෙස හදුන් දිවියන් අනතුරට පත් වන පෙදෙස්‌ බහුල ය. මෙසේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක ම රියදුරන් දැනුවත් කිරීම සඳහා මාර්ග සංඥ පුවරු සවි කිරීම අශාන් තුඩුගල ඇතුළු පිරිස විසින් මීට කාලයකට පෙර සිදු කෙරිණි. හදුන් දිවියන් මාර්ගය පනින ස්‌ථාන මුලින් හදුනාගෙන ඉන්පසු මෙලෙස පුවරු සවි කිරීම ඔවුන් විසින් සිදු කෙරිණි.

වල් ඌරන් වැනි වෙනත් සතුනට ඇටවූ මන්දවල පැටලී අනතුරට ලක්‌ වූ හදුන් දිවියන් ගැන ද නිතර වාර්තා වේ. මෙවන් අවස්‌ථාවල දී සතුන් නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන ප්‍රතිකාර කිරීමට බොහෝ විට සිදු වේ.

මිනිස්‌ වාසස්‌ථාන අසල ජීවත් වන හදුන් දිවියන්, අසල තිබෙන කුකුළු කොටුවලට රිංගා කුකුළන් දඩයම් කිරීමට ගොස්‌ හසු වන අවස්‌ථා ද තිබේ. අනාරක්‍ෂිත ළිංවල වැටුණු හදුන් දිවියන් ද බොහෝ විට වාර්තා වේ. මෙවන් අවස්‌ථාවල දී ගම්වාසීන් ඔවුන් වනජීවී නිලධාරීන් හට භාර දීම නම් පැසසිය යුතු කරුණකි. එහෙත් සමහර අවස්‌ථාවල දී ගම්වාසීන් දැඩි ව ඉල්ලා සිටින්නේ මෙවැනි හදුන් දිවියන් අල්ලා වෙනත් ස්‌ථානයකට ගොස්‌ අතහරින ලෙස ය. එනමුන් හදුන් දිවියා තම තමන් ගේ වසම් ආරක්‍ෂා කරගන්නා සත්ත්ව කොට්‌ඨාශයක්‌ නිසා, වෙනත් ස්‌ථානයකට ගෙන ගොස්‌ අතහැරීම සුදුසු දෙයක්‌ නො වන බව පරීක්‌ෂකයන් ගේ මතයයි.

කොළඹ ආශ්‍රිත ව හමු වූ හදුන් දිවියන් කිහිප දෙනකුට ම රේඩියෝ කරපටි (Radio Collars) පළදා මුදා හැරීමට අන්‍යා ඇතුළු පර්යේෂකයන් කටයුතු කර තිබිණි. ඔවුන් ගැවසෙන ප්‍රදේශ හදුනාගැනීමටත්, ඔවුන් ගේ හැසිරීම අධ්‍යයනයටත් මේ පර්යේෂණය ඉවහල් වූ බව අන්‍යා පැවසුවා ය. වෙනත් ප්‍රදේශවලට ගෙන ගොස්‌ දැමු හදුන් දිවියන් බොහෝ විට තෙත්බිම් තුළට නො ගොස්‌, එහි සීමාව අවට ගැවසෙනු මෙහි දී නිරීක්‌ෂණය විය. තෙත් බිම් තුළ දැනටත් තම වසම වෙන් කරගෙන සිටින හදුන් දිවියන් සිටින නිසා, ඔවුන් සමග ගැටුමක්‌ ඇති වීම වළකාගැනීමට මේ පරිසරයට අලුතින් හදුන්වා දුන් සාමාජිකයා තැත් කිරීමක්‌ ලෙස පර්යේෂකයෝ මෙය හදුන්වති. මෙසේ කළුතර ප්‍රදේශයෙන් අල්ලා මුදාහැරි හදුන් දිවියකු අවසානයේ දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක ගැටී මිය යන තුරු ඉතා දුර ප්‍රදේශයක්‌ ගෙවා දැමූ බව අන්‍යා අනාවරණය කළා ය. මෙය මේ සත්ත්වයා නැවත තම නිජ භුමිය සොයාගැනීමට කළ උත්සාහයක්‌ ලෙස ද පර්යේෂකයෝ අනුමාන කරති.

මේ වල් බළලුන් නිරීක්‌ෂණය පිණිස බහුල ව භාවිත වන උපකරණයකි කැමරා උගුල් (Camera traps). වල් බළලුන් ගේ පා සටහන් තිබෙන, ඔවුන් නිතර ගැවසෙනවා යෑයි සිතෙන තැන් අවට මෙවැනි කැමරා අටවන අතර, ඒ ඉදිරියෙන් චලනය වන දෙයක්‌ ගිය විට කැමරාව ස්‌වයංක්‍රීය ව ක්‍රියාත්මක වේ. ඉන්පසු මේ ඡායාරූප එකින් එක විශ්ලේෂණය කරන පර්යේෂකයෝ, ඒ ඉදිරියෙන් ගිය සතුන්, ඡායාරූපය මගින් අධ්‍යයනය කරති.

දිවියා සහ කොටියා ගේ පටලැවිල්ල

ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි ව ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ සමජිකයන් හදුනාගැනීමට නම් තිබුණත්, සිංහල ව්‍යවහාරයේ දී නම් නම් බොහෝ විට යෙදෙන්නේ පැටලිලිසහගත ව ය. නිවැරැදි යෙදීම වන්නේ Tiger – ව්‍යාඝ්‍රයා ලෙසත්, Leopard – කොටියා ලෙසත් හැදින්වීමයි. ලංකාවේ ජීවත් වන Leopard උප විශේෂය Panthera pardus kotiya ලෙස නම් කිරීමෙන් ම මේ බව පැහැදිලි වේ. එහෙත් බොහෝ තැන්වල Leopard තවමත් හදුන්වනු ලබන්නේ ‘දිවියා’ ලෙස ය. ‘දිවියා’ යන වචනය, ශ්‍රී ලංකාවේ කුඩා වල් බළලුන් හැදින්වීම පිණිස ම වෙන් කරගනිමු යෑයි පර්යේෂකයෝ යෝජනා කරති. කුඩා වල් බළලුන් සියලු දෙනාට ම – එනම් හදුන් දිවියා, බළල් දිවියා මෙන්ම කොළ දිවියාට ද ‘දිවියා’ යන වදන පොදු නිසා ‘දිවියා’ යන සිංහල හැදින්වීම කුඩා වල් බළලුන්ට යෙදීම වඩා ගැළපෙන බව පැහැදිලි ය. එනිසා විශේෂයෙන් ජනමාධ්‍ය හසුරුවන්නන් ගෙන්, ඉදිරියට මේ පැටලැවිල්ල ලිහෙන පරිදි සිංහල නම භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු.

කැළෑ බළලුන් ගේ ව්‍යාප්තිය සටහන් කරගැනීමට සහාය වෙමු

ජාතික වනෝද්‍යාන වැනි ආරක්‍ෂිත වන ජීවී ප්‍රදේශවලට පිටින් ද තවමත් ජීවත් වන වල් බළලුන් ගේ ව්‍යාප්තිය පිළිබද නිසි අධ්‍යයනයක්‌ තවමත් හරිහැටි කෙරී නොමැත. මේ වල් බළලුන් කොහේ දී හෝ ඇස ගැටුණ හොත්, එම දත්ත පර්යේෂකයන් වෙත යොමු කිරීමට ඔබට ද දැන් අවස්‌ථාව සලසා තිබේ. පුරවැසි විද්‍යාත්මක ව්‍යාප්තියක්‌ ලෙස ක්‍රියාත්මක මේ වැඩසටහන සදහා දත්ත සැපයීමට විද්‍යා සගරාවක පාඨකයන් වූ ඔබට ද ආරාධනා කරන්නෙමු. කෙසේ වෙතත් හරිහැටි හදුනාගත් නිරීක්‌ෂණ පමණක්‌ මෙහි සටහන් කරන මෙන් අපි කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.

http://www.save.cat වෙබ් අඩවියට පිවිස ඔබ ගේ නිරීක්‌ෂණ යොමු කළ හැකි වේ.

හරහට හිටින්නට පුළුවන් වැඩි සත්ත්ව කරුණාව

ලංකාවේ සිටින කැළෑ බළලුන් ගේ, හදුන් දිවියන් ගේ මෙන්ම කොටියා ගේත් කුඩා පැටවුන් ගෙදර ඇති කරන බළල් පැටවුන් මෙන්ම සුරතල් ය. කැළෑබද පෙදෙස්‌වල දී, මව පෙනෙන්නට නොමැති අවස්‌ථාවල දී, මව විසින් අතහැර දමන ලද හෝ, අනතුරකට ලක්‌ වූ මවක ගේ පැටවුන් ලෙස සිතා හෝ යහපත් ෙච්තනාවෙන් මේ පැටවුන් බේරාගැනීමේ අදහසින් රැගෙන විත් වනජිවී නිලධාරීන්ට භාර දෙන ලද අවස්‌ථා කිහිපයක්‌ ම වාර්තා විය. එහෙත්, කැළයේ තනි ව ම සිටි පලියට ම, අතරමං වූ පැටවුන් යෑයි

රැගෙන ඒම නො කළ යුතු දෙයකි. කැළෑ බළල්ලු බොහෝ විට තම පැටවුන් සගවා තබා දඩයමේ යති. සමහර විටෙක ඔබ ගේ පැමිණීමෙන් කලබලයට පත් වී පැටවුන් සගවා, බැළලිය එම ප්‍රදේශය මගහැර ගියා වන්නට ද පුළුවන. ඒ නිසා මෙවන් අවස්‌ථාවක දී පැටවුන් රැගෙන යැමට පෙර හැකි නම් පැය කිහිපයක්‌ සෝදිසියෙන් සිටින්න. පැය දෙකකටත් වැඩි කාලයක දී මව නො පැමිණිය හොත් පමණක්‌, මේ පැටවුන්ට උදව් කරන්න.

කෙසේ වෙතත් ලංකවේ වනජීවී නීතිය අනුව මේ සියලු වල් බළලුන් ආරක්‍ෂිත සතුන් නිසා, ඔබ අසල ම තිබෙන වනජීවී කාර්යාලය වෙත ද මේ බව දන්වන්න. මේ වල් බළලුන් කුඩා කාලයේ දී හුරතල් වුවත්, වැඩුණු පසු ඉක්‌මනින් තරහ යන කැළෑ ගති පෙන්වන නිසා, මොවුන් ඇති කිරීමෙන් වළකින්න.

වල් බළලා – (Jungle Cat – Felis chaus kelarti)

මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ (Felis chause) ඵක්‌ උප විශේෂයකි. හදුන් දිවියාට වඩා කුඩා ය. හදුන් දිවියාට වඩා කුඩා මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු දිවියෙකි. බරින් කිලෝ ග්රෑම් 3ත් 16ත් පමණ ද, දිගින් සෙ.මී 50ත් 94ත් අතර ද වේ. සෙ.මී. 20ත් 31ත් පමණ අතර වන වලිගයකින් යුක්‌ත ය. ගැහැනු සතුන් පිරිමි සතුනට වඩා ප්‍රමාණයෙන් කුඩා ය. ලොමින් ගහණ ශරීරයක්‌ ඇති මොවුන් ගේ ශරීරය දුඹුරු පැහැ අළු ස්‌වභාවයක්‌ ගනියි. ඉදිරි ගාත්‍රාවල කළු පැහැති ඉරි 2ත්a 3ත් අතර ප්‍රමාණයකින් ද, වයිරම් සහිත වලිගයකින් ද යුක්‌ත ය. කන් අග ඇති කළු පැහැ ලෝම සහිත කොටස මේ උප විශ්ෂයට ආවේණික ලක්‌ෂණයකි. ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙස නම් කර ඇත.

වල් බළලා තමාට වඩා බලයෙන් අඩු ඕනෑ ම සතකු ආහාරයට ගනී. එ නම් කුරුල්ලන්, මීයන්, හාවුන් හා කුඩා ක්‍ෂීරපායි සතුන් ය. සාමාන්‍යයෙන් ගෘහස්‌ථ බළලකුට හැඩයෙන් සමාන ය. ගෘහස්‌ථ බළලකුට වඩා කෙටි වලිගයක්‌ හා දිගු ගාත්‍රා ඇත. පිරිමි සතුන් හා ගැහැනු සතුන් හැඩරුවෙන් වෙනස්‌ ය. ගැහැනු සතුන් කුඩා ය. පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක්‌ පමණ බර ය. ලෝකයේ උතුරු ප්‍රදේශවල ජීවත් වන වල් බළලුන් අළු දුඹුරු පැහැති ය. දකුණු ප්‍රදේශවල ජීවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැති ය. මුහුණේ හා පාදවල ළා දුඹුරු පැහැති ඉරි තිබේ. කන උඩ තද දුඹුරු හා කළු පැහැති ලොම් ඇත. මොවුන් ගේ දඩයම් කරන චර්යා අනෙක්‌ බළලුන්ට සමාන ය. කුරුමානම අල්ලා දඩයම මතට පනී. කුඩා මුව පැටවුන් වුව ද මරා දමයි. දහවල් කාලයේ දී ක්‍රියාශීලී ය. අන්තරායක දී සැගවීමට හා විවේක ගැනීමට ගුහාවට යයි. ප්‍රජනනය සිදු කරන කාලය ප්‍රදේශය අනුව වෙනස්‌ වේ. ගර්භණී කාලය සති 8ක්‌ පමණ වේ. එක වර පැටවුන් 3-4ක්‌ පමණ බිහි කරයි.

මොහු ලංකාවේ පහතරට, වියළි හා ශුෂ්ක කලාපවල ව්‍යාප්ත වී සිටින්නෙකි. මේ කලාපවල ඇළ දොළ ආසන්නයේ, විවෘත බිම් හා වගාබිම් ආශ්‍රිත ව මොවුහු ගැවසෙති. රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්‍රිත ව ද දැකිය හැකි බව සදහන් වේ. මේ සත්ත්වයා ද වැඩිපුර ක්‍රියාකාරී වන්නේ රාත්‍රි කාලයේ දී ය. මොවුහු දිවා කාලයේ දී තුරු මුදුන් මත ලැග සිටිති. මධ්‍යම ආසියාවේ නයිලි නිම්න ආශ්‍රිත රටවල හා අග්නිදිග ආසියාතික රටවල දක්‌නට ලැබේ.

හදුන් දිවියා – (Fishing Cat – Prionailurus viverrinus)

ශ්‍රී ලංකාවේ බිළාල පවුලේ දෙවැනි විශාලතම සාමාජිකයා ය. අඩි දෙකක්‌ / දෙක හමාරක්‌ (සෙන්ටිමීටර 57 – 78 ක්‌) පමණ දිගකින් යුතු හදුන් දිවියාට සෙන්ටිමීටර 20 – 30 අතර දිගකින් යුතු කෙටි වයිරම් සහිත වලිගයක්‌ තිබේ. හදුන් දිවියා කිලෝග්රෑම් 5 – 16 බරකින් යුක්‌ත වේ. විශාලත්වයෙන් අඩක්‌ වර්ධනය වුණු කොටියකු ගේ පෙනුමක්‌ ඇත. ලොම් ළා දුඹුරු පැහැ වන අතර එහි අපිළිවෙළට විහිදුණු තද දුඹුරු ලප ඇත. කුඩා කළු පැහැ කන් දෙකකින් හා කනේ පසුපස සිට ගෙල දක්‌වා දිවෙන කළු පැහැ ඉරි 6 සිට 8 දක්‌වා ප්‍රමාණයකින් යුක්‌ත වන මොවුන් ගේ ශරීරය කළු මිශ්‍ර අළු පැහැයක්‌ ගනියි. කනෙහි පිටුපස්‌ස කළු ය. ඒ මධ්‍යයෙහි සුදු ලපයක්‌ ඇත. උදර ප්‍රදේශය සුදු ය.

ලෝක රතු දත්ත වාර්තාවට අනුව අන්තරාදායක තත්ත්වයට පත් විශේෂයක්‌ ලෙස නම් කර ඇත.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, වියට්‌නාමය, මලයාසියාව වැනි රටවල ව්‍යාප්ත ව සිටින අතර අග්නිදිග ජාවා දූපත්වලට සීමා වේ. පාකිස්‌ථානයෙන් ද මේ සත්ත්ව විශේෂය වාර්තා වන නමුදු මෑතකාලීන වාර්තා වීමක්‌ පිළිබඳව සඳහන් නො වේ. වගුරු බිම්, කඩොලාන දිය පහරවල් හා සදාහරිත පහත් කදුකර වනාන්තරවල විසීමට රුචිකත්වයක්‌ දක්‌වයි.

හදුන් දිවියා ඉතා දක්‍ෂ කිමිදුම්කරුවෙක්‌ ද වේ. ප්‍රධාන වශයෙන් මිරිදිය මසුන් ආහාරයට ගන්නා අතර ඊට අමතර ව කුඩා ක්‍ෂීරපායීන්, සර්පයන්, කුරුල්ලන් හා ගොළුබෙල්ලන් ආහාරයට ගනු ලැබේ. මසුන් සහ ගෙම්බන් වැනි සතුන් ඇල්ලීමේ දී ඉදිරිපස ගාත්‍රාවලින් පහර දී කොටු කර අල්ලාගන්නා අතර ජලජ පක්‍ෂීන් දඩයමේ දී ජලය යටින් කිමිදී ගොස්‌ ක්‍ෂණික පහරදීම් කරනු ලැබේ. නිශාචර දඩයම්කරුවකු ලෙස ප්‍රකට මොහු දිවා කාලය නිහඩ, නිශ්චල ස්‌ථානයක ගත කිරීමට ප්‍රිය කරයි. දිය මත පිහිනා යැමේ දී දිශාව තීරණය කරගැනීමට කෙටි වලිගය උපකාරී වේ. ඔවුන් ගේ පාද පිහිටා ඇති ආකාරය ද ඔවුනට පිහිනීමට උදව් වේ. පාදවල ඇගිලි පුරුක්‌ අතර අර්ධ වශයෙන් සම්පූර්ණ වූ බැඳි පටල ඇති අතර වේගයෙන් පිහිනීමට එය උපකාරී වේ. හදුන් දිවියාට ලෝම ස්‌ථර දෙකක්‌ ඇති අතර මේ නිසා ජලයේ දී සම තෙක්‌ ම තෙත් වන්නේ නැත. මෙය තෙත් පරිසරයක ජීවත් වීමට හදුන් දිවියාට අවස්‌ථාව සලසා දෙයි. තම බල ප්‍රදේශය සලකුණු කිරීමට ගස්‌ කඳන් මත නිය සලකුණු යෙදීම මොවුන් ගේ විශේෂත්වයකි.

මොවුන් ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ, ඉලුක්‌ ගාල්, බෙන සහිත ගස්‌ හා පර්වතවල පැලුණු තැන්වල ය. වරකට පැටවුන් 2ත් 3ත් අතර ප්‍රමාණයක්‌ බිහි කරන මොවුන් දින 63 ත් 70ත් අතර ගර්භණී කාලයකින් යුක්‌ත ය. හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වසර දෙකකට වරක්‌ පැටවුන් බිහි කිරීමේ හැකියාවකින් යුක්‌ත වේ. මාසයක පමණ කාලයක්‌ මවු කිරි මත යෑපෙන අතර ඉන් පසු ඝන ආහාරවලට ක්‍රමයෙන් හුරු වේ. මාස 8කින් පූර්ණ වැඩුණු සතකු බවට පත් වන මොවුහු වසර එක හමාරකින් පසු ලිංගික ව පරිණතභාවයට පත් වෙති.

කොළ දිවියා -(Rusty sportted Cat – Prionailurus rubiginosus)

ලෝකයේ සිටින කුඩාම වල් බළලා වේ. බළල් පවුලේ විශාලම සාමාජිකයා වූ සින්හයා මෙන් 200 වාරයක් මෙම කැලෑ බලලා කුඩා බව සන්දහන් වේ. ගෘහාශ්‍රිත බළලකු ගේ පෙනුමට සමාන කුලෑටි සතකු වූ කොලදිවියා මිනිසුන් ගෙන් වසන් වී ජිවත් වෙයි.

උදරය යට සුදු පාටයි. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලන් ඇත.එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත.එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. කුඩා පැටවුන් ලා පැහැති වන අතර මෙම ලප කුඩා පැවෙුන්ගේ නැත.

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පදුරැ සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත.

කොලදිවියා ද රාත්‍රියේදී ක්‍රියාශීලි වන සත්ත්වයෙකි. කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින් ආහාරයට ගනී.මේ සත්ත්වයාද මිනිස් ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේම සුරතලයට ඇති කිරීම නිසාද,ගෙවල් වල සාදන බළලුන් සමග අභිජනනය වීම නිසාද මොවුන් තවදුරටත් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී.

මෑතක දී BBC ආයතනය විසින් ශ්‍රී ලන්කාවේදි රූ ගත කල වාර්තාමය වැඩසටහනක කොළ දිවියා ගේ ජීවන තොරතුරු ආකර්ශනීය ලෙස ඉදිරිපත් කර තිබිනි. Youtube හි ඇති මෙම වීඩියෝ දර්ශන සොයා ගෙන නැරඹීමට ඔබත් උත්සාහ ගන්න.

බළල් පවුලේ සාමාජිකයෝ

විශාල ප්‍රමාණයේ සාමාජිකයන්

1) සිංහයා (Lion)

2) ව්‍යාඝ්‍රයා (Tiger)

3) කොටියා (Leopard)

4) චීටා (Cheetah)

5) ජගුවරයා (Jaguar)

6) පූමා – කදුකර සිංහයා (Mountain Lion)

7) හිම කොටියා (Mountain Lion)

ඔවුන් ගේ පාද පිහිටා ඇති ආකාරය ද ඔවුනට පිහිනීමට උදව් වේ. පාදවල ඇගිලි පුරුක්‌ අතර අර්ධ වශයෙන් සම්පූර්ණ වූ බැඳි පටල ඇති අතර වේගයෙන් පිහිනීමට එය උපකාරී වේ. හදුන් දිවියාට ලෝම ස්‌ථර දෙකක්‌ ඇති අතර මේ නිසා ජලයේ දී සම තෙක්‌ ම තෙත් වන්නේ නැත. මෙය තෙත් පරිසරයක ජීවත් වීමට හදුන් දිවියාට අවස්‌ථාව සලසා දෙයි. තම බල ප්‍රදේශය සලකුණු කිරීමට ගස්‌ කඳන් මත නිය සලකුණු යෙදීම මොවුන් ගේ විශේෂත්වයකි.

මොවුන් ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ, ඉලුක්‌ ගාල්, බෙන සහිත ගස්‌ හා පර්වතවල පැලුණු තැන්වල ය. වරකට පැටවුන් 2ත් 3ත් අතර ප්‍රමාණයක්‌ බිහි කරන මොවුන් දින 63 ත් 70ත් අතර ගර්භණී කාලයකින් යුක්‌ත ය. හොඳින් වැඩුණු ගැහැනු සතෙකු වසර දෙකකට වරක්‌ පැටවුන් බිහි කිරීමේ හැකියාවකින් යුක්‌ත වේ. මාසයක පමණ කාලයක්‌ මවු කිරි මත යෑපෙන අතර ඉන් පසු ඝන ආහාරවලට ක්‍රමයෙන් හුරු වේ. මාස 8කින් පූර්ණ වැඩුණු සතකු බවට පත් වන මොවුහු වසර එක හමාරකින් පසු ලිංගික ව පරිණතභාවයට පත් වෙති.

කොළ දිවියා – (Rusty sportted Cat – Prionailurus rubiginosus)

ප්‍රාදේශීය ව්‍යවහාරයේ දී කොළ දිවියා ලෙස හදුන්වන මේ සත්ත්වයා ලෝකයේ සිටින කුඩාතම වල් බළලා වේ. බළල් පවුලේ විශාල ම සාමාජිකයා වූ සිංහයා මෙන් 200 වාරයක්‌ මේ කැළෑ බළලා කුඩා බව සදහන් වේ. ගෘහාශ්‍රිත බළලකු ගේ පෙනුමට සමාන කුලෑටි සතකු වූ කොළ දිවියා මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වෙයි.

ලෝක රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක්‌ වූ විශේෂයක්‌ ලෙස නම් කර ඇති මොවුන් අතිශය දුර්ලභ සත්ත්ව විශේෂයකි. මේ සතකු බරින් කිලෝ ග්රෑම් 0.9 සිට 1.6 පමණ ද, දිගින් සෙ.මී. 35ත්a 47ක්‌ පමණ ද, සෙ.මී 15ත් 30ත් පමණ වලිගයකින් ද යුක්‌ත ය. ශරීරය පුරා කළු පැහැති පුල්ලි ද, හිස දෙපස කළු පැහැති ඉරි 6 බැගින් ද ඇති මොවුන් ගේ වලිගය කළු පැහැති ය. උදරය යට සුදු පැහැති ය. මොවුන් ගේ හමේ මළකඩ රතු පැහැති පැල්ලම් ඇත. එම නිසා මොවුන්ට Rusty spotted යන නම ලැබී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. කුඩා පැටවුන් ළා පැහැති වන අතර මේ ලප කුඩා පැටවුන් ගේ නැත.

මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර, සිංහරාජය වැනි වැසි වනාන්තර, හොර්ටන්තැන්න, නුවරඵළිය වැනි ප්‍රදේශවල පිහිටි කදුකර තෙත් වනාන්තරවල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශවල කටු පදුරු සහිත ලදු කැළෑ ආශ්‍රිත ව ද දැකිය හැකි ය. රට පුරා පැතිරී ඇත. කදුකර ප්‍රදේශවල සිට වෙරළබඩ දක්‌වාත් තෙත් හා වියළි කලාපවලත් වනාන්තරවල දක්‌නට ඇත. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තර හා තෘණ භූමි අශ්‍රිත ව ජීවත් වේ.

කොළ දිවියා ද රාත්‍රියේ දී ක්‍රියාශීලී වන සත්ත්වයෙකි. කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, ගෙම්බන්, කුඩා උරගයන් ආහාරයට ගනී. මේ සත්ත්වයා ද මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යැමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේ ම සුරතලයට ඇති කිරීම නිසා ද, ගෙවල ඇති කරනු ලබන බළලුන් සමග අභිජනනය වීම නිසා ද මොවුහු තවදුරටත් වද වී යැමේ තර්ජනයට මුහුණපා සිටිති.

මෑතක දී BBC ආයතනය ශ්‍රී ලංකාවේ දී රූගත කළ වාර්තාමය වැඩසටහනක කොළ දිවියා ගේ ජීවන තොරතුරු ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කර තිබිණි. Youtube හි ඇති මේ වීඩියෝ දර්ශන සොයාගෙන නැරඹීමට ඔබත් උත්සාහ ගන්න.

උපුටාගැනීම: Save Fishing Cats Conservation Project අත් පත්‍රිකකාව

ආන්‍යා රත්නායක විසින් පාසල් සිසුන් දැනුවත් කිරීමක…

අශාන් තුඩුගල විසින් සිදුකල දැනුවත් කිරීමේ වැඩසටහනකදී..

වල් බළලුන් පිළිබදව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක්‌ සහ දේශන පෙළක්‌ 

“ලංකාවේ සිටින කුඩා වල් බළලුන් පිළිබදව ජනතාව අතර තිබෙන දැනුමත් අවශ්‍ය සංරක්‌ෂණ ක්‍රියාවලියත් තවත් වැඩි දියුණු වෙන්න ඕන” පර්යේෂකයන් වූ අන්‍යා සහ අශාන් දෙදෙනා ම අප හා පවසා සිටිය හ. මේ වල් බළලුන් ආරක්‍ෂිශත ප්‍රදේශවලින් එපිට මිනිස්‌ වාසස්‌ථාන අසල ද ජීවත් වන නිසා, මිනිසුන් මොවුන් පිළිබදව දැනුවත් වීම එම සතුන් ගේ අනාගතය උදෙසා ඉතා ම අවශ්‍ය කාරණයක්‌ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

කැළෑ බළලුන් – විශේෂයෙන් ම හදුන් දිවියන් කෙරෙහි මිනිසුන් තුළ ඇත්තේ බියකි. එහෙත්, ඔවුනට පාඩුවේ ඉන්නට හැරිය හොත්, මේ කැළෑ බළලුන් ගෙන් මිනිසාට කිසිදු හානියක්‌ නො වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තියුණු ඉවකින් යුතු හදුන් දිවියන්, මිනිසුන් ගෙන් වසන් වී සිටීමට ඉතා ම දක්‌ෂ බවත්, ඔවුන් මිනිසුන් ගෙන් වසන් වී ජීවත් වීමට හැකි සැම උත්සාහයක්‌ ම දරන බවත් ඔවුහු පවසති.

අන්‍යා රත්නායක මෙන්ම අශාන් තුඩුගල ගේ මූලිකත්වයෙන් මහජනතාව, සරසවි සිසුන් මෙන්ම විශේෂයෙන්ම පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් අවස්‌ථාවක්‌ ලද හැම විටෙක දීම ක්‍රියාත්මක කෙරෙයි. ජනතාව දැනුවත් කිරීමේ ඉතා ම අවශ්‍ය මෙහෙවරකි. මීට අමතර ව වල් බළලුන් පිළිබදව සමාජය දැනුවත් කිරීමේ අරමුණින් පාගමනක්‌ ද ඔවුන් දෙපළ ගේ මූලිකත්වයෙන් මේ මස 17 වැනි දා උදෑසන 7 සිට 12 දක්‌වා පැවැත්වේ. තලවතුගොඩ දියසරු තෙත්බිම් උද්‍යානය අසලින් මේ පාගමන ඇරඹීමට නියමිත ය.

මීට අමතරව දියසරු උයනේ දී ලෝකයේ වල් බළලුන් සංරක්‌ෂණයේ ඉදිරියෙන් ම සිටින ආචාර්ය ජිම් සැන්ඩර්සන්, දේශනයක්‌ ද සිදු කිරීමට නියමිත ය. ලංකාවේ පර්යේෂකයන් වූ ආචාර්ය ශ්‍රියානි මිත්තපාල මෙන්ම අන්‍යා රත්නායක, අශාන් තුඩුගල ද, මෙහි දී සිය අත්දැකීම් බෙදාගනු ඇත.