Archive for the ‘Biodiversity in Homegarden’ Category

අරඹමු නව වසර, සිටුවා පැළයක්‌ ගෙවත්තේ

January 7, 2018

ලැබූ 2018 වසර නම් කර තිබෙන්නේ ආහාර නිෂ්පාදනයේ වසර ලෙසයි. ජලය, වාතය මෙන් ම ආහාර අප ගේ මූලික අවශ්‍යතාවක්‌ වුවත් ආහාර නිෂ්පාදනයේ අඩුව, නිපදවූ ආහාරවල ගුණාත්මකභාවය, අනවශ්‍යය ලෙස කෘෂි රසායන යෙදීම වැනි කරුණු ආහාර සම්බන්ධව අද අප මුහුණ දෙන ගැටලු වේ. සම්පූර්ණයෙන් නො වුවත්, මද පමණක්‌ හෝ ආහාර නිෂ්පාදනයට දායක වීමට ගෙවතු වගාවකින් සිදු කළ හැකි ය.

ගෙවතු වගාවකින් අපට ගත හැකි අස්‌වැන්න අප ගේ දෛනික ආහාර අවශ්‍යතාවෙන් සොච්චමක්‌ වුවත්, ගෙවතු වගාවකින් අපට ලැබෙන කායික ව්‍යායාමය මෙන් ම මානසික සහනය මිල කළ නොහැකි වාසි වේ. ගෙවතු වගාව, ගෙවත්තේ ජෛව විවිධත්වය වැඩි කිරීමට ද උදව් වන නිසා, ආහාර පිළිබද වෙන් වූ “2018 වසරේ දී, ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’හි මුල් ම ලිපියෙන් ඔබට ආරාධනා කරන්නේ, ඔබේ ගෙවත්තේත් යම් කිසි වගාවක්‌ මේ නව වසරේ ආරම්භ කරන ලෙසයි.

ගෙවතු වගාව නිසැක ව ම ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ වැඩි කිරීමට හේතු වනු ඇත. උදාහරණයක්‌ ලෙස කතුරුමුරුංගා ගසක්‌ වැවුව හොත්, එහි බිත්තර දමන සමනළයන් ඔබේ ගෙවත්තට නිසැකයෙන් ම ඇදී එනු ඇත.

කුඩා දරුවන් පවා රූපවාහිනි, පරිගණක මෙන් ම ජංගම දුරකථනයටත් ඇබ්බැහි වී, යාන්ත්‍රික ලෝකයක අතරමං වූ මෙකල, පවුල ම එකතු වී කරන ගෙවතු වගාවක්‌ ළමයින්ට පාරිසරික ක්‍රියාකාරකමක්‌ ද සපයන අතර ම පවුලේ සමගිය වැඩි කිරීමට ද ඉවහල් වනු ඇත. ගසක්‌ වැඩෙන ආකාරය, ගසකට නිසි ලෙස සාත්තු කර එය ඵල දරන තෙක්‌ ආරක්‌ෂා කරගැනීමට පුරුදු වීමෙන් ස්‌වයං විනයක්‌ ඇති කිරීමට මෙන් ම වගකීම් දැරීමටත් දරුවන්ට මූලික පුහුණුවක්‌ ලැබෙනු ඇත.

අප ගේ ගෙවත්තේ වගාව පළමුව පටන්ගත්තේ මීට මාස 5ට පමණ පෙර දී ය. ගෙවත්තේ ජෛව විවිධත්වය වැඩි කරගැනීමත් මාගේ සිව් වැනි වියේ පසු වන කුඩා දියණියට පාරිසරික ක්‍රියාකාරකම්වල අත්දැකීම් ලබා දීමත් අප ගේ ගෙවතු වගාවෙහි ප්‍රධාන ම අරමුණු විය. විශේෂයෙන් ම පලතුරු බෝග තෝරාගැනීමේ දී කුරුල්ලන්ට ප්‍රයෝජනවත් සහ සමනළයන් බිත්තර දමන ගස්‌ තෝරාගත්තේ ගෙවත්තේ ජෛව විවිධත්වය වැඩි කරගැනීමේ අරමුණිනි.

කුඩා ඉඩ ප්‍රමාණයක්‌ පමණක්‌ තිබූ අප ගේ ගෙවත්තේ බිම ප්‍රයෝජනයට ගත නොහැකි ස්‌ථානවල බදුන් තුළ එළවළු වගාව සිදු කළෙමු. බණ්‌ඩක්‌කා, මෑ, කරිවිල, පිපිඤ්ඤා, වම්බටු වැනි එළවළු ද නිවිති, ගොටුකොළ, කතුරු මුරුංගා වැනි පළා වර්ග ද තැනට ගැළපෙන ලෙස සිටුවූයේ කුඩා දියනිය වත් සහභාගී කරගෙන ම ය.

තවාන් දැමූ බීජවලින් අංකුර ඇදෙනා සැටි, බණ්‌ඩක්‌කා/මෑකරල් වැනි ශාකවල මල් පිපී ඉන් පසු ඒවායින් කරල් හටගන්නා අකාරය වැනි දෑ ඇයට නවමු අත්දැකීම් විය. මේ එළවළු ගස්‌වල අස්‌වැන්න ඇය විසින් ම ගෙට ගෙන එන ලද්දේ ඉමහත් සතුටකිනි. මීට අමතරව එළවළු ගස්‌/ වැල්වල පිපුණු මල්වලට ඇදෙන මී මැස්‌සන් සහ සමනළයන් දෙස බලා සිටීම ඇයට මහත් ආශ්වාදයක්‌ විය. ගෙවත්තට ගිය සැම විට ම කතුරු මුරුංගා ගසේ සමනළයන් විසින් දමන ලද කුඩා බිත්තර අධ්‍යයනය ඇය ගේ තවත් විනොදාංශයකි.

මීට අමතර ව සැවොම පැවසුයේ මේ වස විසෙන් තොර ගෙවත්තේ එළවළු/පළා කඩෙන් ගෙනෙනා එළවළුවලට වඩා රසවත් බවයි. ගෙවතු වගාවේ දි පළිබෝධයන් විටෙක කරදරයක්‌ වුවත්, කෘෂි රසායන නො යොදා ඔවුන් පාලනයට සැම විට ම උත්සාහ ගත්තෙමි.

ගෙවතු වගාව පිළිබද මාගේ අත්දැකීම මෙහි දී ඉදිරිපත් කළේ විශාල ගෙවත්තක්‌ නො තිබුණත්, ඔබටත් ගෙවතු වගාව සිදු කළ හැකි බව පෙන්වා දීමට ය.

“හොඳින් හිරු එළිය ලැබෙන බිම් ප්‍රදේශයක්‌ වවන්නේ නැති ව අපතේ යෑවීම අපරාධයක්‌. කුඩා ඉඩ කඩක මෙන්ම ඉහළ මාලයක බදුන්ගත ව වුව ද ගෙවතු බෝග වගා කරගත හැකියි” මෙසේ පෙන්වා දුන්නේ රුහුණ විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ ආචාර්ය නාලිකා රණසිංහ ය. සමස්‌ථයක්‌ විදිහට ගත්තම, අපේ රටේ මිනිසුන් තමන් කන දේ වගා කරන්න කම්මැලියි. ලේසියට හැම දේම කඩෙන් ගන්න පුරුදු වෙලා…ඒකට අපිට විවිධ සමාවට කරුණුත් තිබෙනවා…. වෙලාව නැහැ, බබාලා පොඩියි, වත්තේ ඉඩක්‌ නැහැ, ඔයිට වඩා වැදගත් වැඩ තියෙනවා.. වැනි දේවල්… ඒ වුණාට ගෙවතු වගාව වෙනුවෙන් වැය කරන කාලය අපතේ නො යන බව ආචාර්ය රණසිංහ තවදුරටත් පෙන්වා දුන්නේ එයින් අපට ලැබෙන වෙනත් වාසි හුවා දක්‌වමිනි.

ගෙවතු වගාව පිළිබද බොහෝ විස්‌තර අන්තර්ජාලයෙන් ලබාගත හැකි ය. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් සකස්‌ කර ඇති උපදේශාත්මක කෙටි වීඩියෝ Youtube හි ඇති අතර විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේ ද ඔබට ගෙවතු වගාව පිළිබද උපදෙස්‌ ලබාගත හැකි ය. Facebook හි ක්‍රියාකාරී “සාරභූමි”නම් වූ මෙවැනි සමාජ මාධ්‍ය ජාලයක 84,000 වැඩි පරිසක්‌ සාමාජිකයන් වී ඇත්තේ ගෙවතු වගාව පිළිබද ඇති උනන්දුව පෙන්වමිනි. ගෙවතු වගාව සම්බන්ධ බොහෝ දේ මා හට තනි ව ම ඉගෙනගැනීමට මේ මාධ්‍ය උපකාරී වුවා සේම, ඔබට ද මේවා ප්‍රයෝජනවත් වනු ඇත.

ගෙවතු වගාව පිළිබද උපදෙස්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශන සේවාව 1920 අංකය ඔස්‌සේ ඇමතීමෙන් ද ලබාගත හැකි වේ. ඉතින් දැනටමත් ඔබ ගෙවතු වගාවක නො යෙදෙන්නේ නම්, එළඹුණු නව වසර ඒ සදහා නිමිත්තක්‌ කරගන්නා මෙන් ඔබට කරනා ආරාධනාවයි මේ.

අද අප වගා කරන බොහෝ එළවළු, පලතුරු, පළා වර්ගවල ඔබ පෙර නො දත් රසවත් ජෛව විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ තිබේ. කොහොමටත් මෙවැනි බොහොමයක්‌ එළවළු, පලතුරු, පළා වර්ග ගෙවතුවල දක්‌නට ඇති නිසා මේ වසර තුළ දී ‘ගෙවත්තේ ජෛවවිවිධත්වය’ තුළින් මේ ගෙවතු වගා බෝගවල විස්‌තර ද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නෙමි.

Published on Vidusara 03.01.2018

ගෙවතු වගාවේ ප්‍රතිලාභ 

¥ පරිභෝජනයට නැවුම් පිරිසිදු ආහාර

¥ ඔබට සතුට විනෝදය සහ දැනුම

¥ මානසික විවේකය සහ ආත්ම තෘප්තිය 

¥ දරුවන්ට අධ්‍යාපනයක්‌

¥ එකට වැඩ කිරීම තුළින් පවුලේ සමගිය වැඩි වේ 

¥ ශරීරයට ව්‍යායාමයක්‌ ලැබේ

¥ ඇතැම් විට අමතර ආදායමක්‌ ද උපයාගත හැකි ය.

විදිමින් පරිසරය, අරඹමු නව වසර කුරුලු ගී සමගින්

December 31, 2017

WISH YOU ALL A NATUREFUL NEW YEAR..!!!

Today is the last day of year 2017. I couldn’t write as much I wanted in year 2017; but managed to compile a weekly column for Vidusara titled ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ (Biodiversity in Home Garden) since June. Aim 0f ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ (Biodiversity in Homegarden) is to unravel the beauty of the biodiversity in our own backyard that often goes unnoticed. Herewith I’m posting its last column for year 2017.

Could there be a more refreshing way to welcome the New Year than listening to the ‘Dawn Chorus’..? Nature’s musicians present their symphonies every morning – but had we care to listen to them..? Atleast let’s welcome the new year listening to the dawn chorus – WISH YOU ALL A NATUREFUL NEW YEAR..!!!

Published on Vidusara on 27th of December 2017 http://www.vidusara.com/2017/12/27/feature3.html

මේ ගෙවෙන්නේ 2017 වසරේ අවසන් දින කිහිපයයි. ජුනි මාසයේ පටන් විදුසර සමග ඔබ වෙත ගෙන ආ “ගෙවත්තේ ජෛව විවිධත්වය.” තුළින් අද ඉදිරිපත් කරන්නේ ඔබ අවට පරිසරයේ අසිරිය විදිමින් නව වසර පිළිගැනීමට කරන ඇරයුමකි.

නව වසරක්‌ පිළිගැනීමට සමහරු රතිඤ්ඤා දල්වති. මැදියම් රැයේ නිදි වරාගෙන රතිඤ්ඤා දල්වනු වෙනුවට ජනවාරි පළමු වැනි දින උදැසන මදක්‌ කලින් නැගිට උදා වූ නව වසරේ පළමු හිමිදිරිය ගෙවත්තේ පාරිසරක අසිරියත් සමග ගෙවන්නට හැකි නම් අපූරුයි නේ ද..?

අප එතරම් අවධානය නො දැක්‌වුවත් හිමිදිරියේ කුරුල්ලන් ඉදිරිපත් කරන කුරුලු ගී සංවනිය පරිසරයේ දක්‌නට හැකි අපූරු ම සංසිද්ධියකි. වාද්‍ය භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ භාවිතයෙන් ලෝකයේ ප්‍රසිද්ධ සංගිතඥයන් විසින් ඉදිරිපත් කෙරෙන සංවනියකට (Musical Symphony)ත් වඩා කුරුල්ලන් සැම උදෑසනක ම ඉදිරිපත් කරන සංවනිය විවිධත්වයකින් යුතු ය. මෙය Dawn Chorus ලෙස ඉංගිරිසියෙන් හදුන්වන අතර සාමාන්‍යයෙන් උදෑසන 5.30 පටන් 6.30 පමණ වන තෙක්‌ ඔබට අත්විදිය හැකි ය.

උදා සංවනියේ දි ඔබට කුරුලු ගීත (songs) මෙන් ම හැඩලීම් (calls) ද ඇසිය හැකි වනු ඇත. හැඩලීම හෙවත් නාදය යනු කුරුල්ලන් ගේ සාමාන්‍ය කෑගැසීමයි. නොකඩවා කරගෙන යන හැඩලීම් එකතුවක්‌ ගීතයක්‌ ලෙස සැලකේ. මෙයට හොඳ ම උදාහරණය කොහා ය. සුවදි සමයේ දී (මූලිකව ම අප්‍රේල් ආසන්නයේ) තම ගීතය ගයන කොහා, වෙනත් කාලවල දී නාද කරයි. ගීතය ඉතා ම කන්කලු වුවත්, කොහා ගේ හැඩලීම නම් තරමක්‌ කර්කෂ උස්‌ හඩකි. කුරුලු ගිතය මූලිකව ම සන්නිවේදනය සදහා භාවිත වේ.

වසම් වෙන් කරගෙන (Territory) ඒවා ආරක්‌ෂා කරන පොල්කිච්චා වැනි කුරුල්ලන් උදෑසන ගී ගයන්නේ එම ප්‍රදේශයේ ඇති උස ම ස්‌ථානයේ සිට ය. ඉතින් ඇයි කුරුල්ලන් උදෑසන ම ගී ගයන්නේ..? ” මේ බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නයකි. උදෑසන වාතයේ ගණත්වය ඉහළ නිසා සහ සාමාන්‍යයෙන් හිමිදිරිය නිශ්ශබ්ද වීමත් නිසා ගයන ගීය වැඩි ඈතකට ඇසීමට ඇති ඉඩ වැඩි හෙයින් කුරුල්ලන් උදෑසන තම ගී ගැයීමට තෝරාගත් බව වඩාත් පිළිගත් මතයයි.

මේ ලිපිය ලියන්නට පටන්ගත්තේ දෙසැම්බර් 20 වැනි දා උදෑසන අප ගෙවත්ත අසල කුරුලු ගී සන්ධවනියට සවන් දෙමිනි. මා උදා කුරුලු සංවනියේ (Dawn Chorus) විදි අපූර්වත්වය එලෙස ම ඔබට ඉදිරිපත් කරන්නේ, සැම දා අප අවට ගැයෙන මේ ගී රාවයට අඩු තරමේ නව වසරේ පළමු හිමිදිරියේ වත් අවධානය යොමු කිරීමේ වැදගත් කම පෙන්වා දීමට ය.

මා උදා සංවනියට කන් යොමන්නට පටන්ගත්තේ 5.45ට පමණ ය. මුලින් ම ඈතින් ඇසුණේ කොහා ගේ නාදයකි. එයට ප්‍රතිචාර ලෙස, අපේ ගෙවත්ත අසල ම ගසක සිටි කොහෙකු, මහා හඩින් නද දුන්නේ ය. මෙසේ අප අවට සිටි අඩු තරමේ කොහා 4 දෙනකු වත්, මේ දුර සිට කෙරුණු කථා බහට එකතු වූයේ රාත්‍රියේ පැලට වී හේන් මුර කළ ගොවියන් ඈත පැල්වල සිටින තම මිතුරන් සමග උස්‌ හඩින් කරන පිළිසදරක්‌ ලෙසිනි.

මේ අතර මයිනන් එකා දෙන්නා ඔවුනොවුන් අතර කෙටි නාද මගින් පණිවිඩ හුවමාරු කරගන්නට පටන්ගනු ඇසිණි. උදැසන 6 වන විට මේ සංවනිය උච්ච ස්‌ථානයකට පත් විය. ආසන්නයේ ම ඇසුණු මයිනන් ගේ ඝෝෂාවට තවත් සාමාජිකයන් එකතු වනවා හොදින් ම ඇසිණි. ඈතින් ගිරවුන් රංචුවක්‌ පියඹා ගියේ තාලයකට නද දෙමිනි. පිළිහුඩුවකු කන් පසා කරන තම කර්කෂ නාදය නගාගෙන අප ගෙවත්ත මැදින් ම පියඹා යනු ඇසිණි.

(ඡායාරුපය සචිවනී කොඩිප්පිලි)

6.10: දැන් නම් මයිනන් ගේ නද හොඳට ම වැඩි ය. අප ප්‍රදේශය අසලින් යන ඇළ මාර්ගය ඔස්‌සේ සැන්දෑ කාලයේ දී මයිනන් මෙන් ම කොකුන් ද විශාල සංඛ්‍යාවක්‌ උන් ගේ රාත්‍රි නවාතැන් බලා පියඹා යන අතර සැම උදෑසනක ම මේ කුරුල්ලෝ නැවත තම තමන් ආහාර සොයාගන්නා තැන්වල ස්‌ථානගත වීමට අපේ ගෙවත්ත පෙනෙන මානයේ ඉහළින් පියඹා යති. මෙසේ ගමන් ගන්නා මයිනන් ආසන්නයේ තිබෙන පාසලේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලේ මදක්‌ නැවතී ආ ගිය තොරතුරු අසන්නට මෙන් විනාඩි කිහිපයක්‌ ගත කර පියඹා යනවා මා ඇස ගැටුණේ මයිනන් විශාල ප්‍රමාණයක ගේ ශබ්දය එන ඉසව්ව නිරික්‌ෂණය කිරීමේ දී ය.

6.15: ඈතින් අසුණේ කොරවක්‌කකු ගේ කෙකර ගෑමකි. වෙන දා නො ඇසුණත් අද අවධානය යොමු කළ නිසා මේ කොරවක්‌කා ගේ හඩ ඇසුණා වන්නට පුළුවන. තවත් ගිරවුන් රංචුවක්‌ පියඹා ගිය අතර, ඉන් ගිරවුන් දෙදෙනෙක්‌ අසල ගසක වැසූ හ. අළු කොබෙයියන් ගේ නාදයත් අවට පරිසරයෙන් නිතර ඇසෙන්නට පටන්ගති.

6.20: අප ගෙවත්ත අසල ම පිළිහුඩුවන් ගේ ආරෝවක්‌ ඇසිණි. එය නිරීක්‌ෂණය කිරීමට ගිය මා දුටුවේ ළය – සුදු පිළිහුඩුවන් තිදෙනකු ගේ සංදර්ශනයකි. අහසේ කණ කොකා, බ්‍රාහ්මණ පියාකුසුස්‌සා මෙන් ම කපුටෙක්‌ ද නාද කරමින් පියඹා ගිය හ.

6.25: දැන් මයිනන් ගේ නාදය ඇසෙන්නේ ඉඳ හිට ය. අසල ගොඩනැගිල්ලේ වහලයේ වැසූ මයිනන් සියල්ල දැන් විසිර ගොස්‌ ය. ඒ අඩුව පිරවීමට මෙන් තරමක්‌ ඈතින් පොලොස්‌ කොට්‌ටෝරුවෙක්‌ තාලයට ගීතයක්‌ ආරම්භ කළේ ය. ළග ගසක රත් මූණත් කොට්‌ටෝරුවකු ද හෙමිහිට නාද කරනවා ඇසිණි.

6.30: සති කිහිපයක ම සිට අප ගෙවත්ත අසලින් නාද කරන ආසියා රැහැන් මාරාවා ද හඩ නගමින් අත්තෙන් අත්තට පනිනවා ඇසුණේ අසල්වැසි ගෙවත්තේ ගසක සිට ය. එක්‌වර ම මා ඉදිරියෙන් පියඹා ගිය මේ සුදු-රෙදි හොරා මා ඉදිරියේ තිබූ ඇන්ටෙනාවේ වැසුවේ මා ඉමහත් සතුටට පත් කරමිනි. ඒ ඇත්තට ම මේ වසරේ ගෙවත්තේ දුටු සුවිශේෂ ම නිරීක්‌ෂණ වූයේ ඒ රැහැන් මාරාවා වර්ණ මාරු කරන අවස්‌ථාවේ සිටි තරුණ කුරුල්ලකු නිසා ය. (ලබන සතියේ නිහරියකු වූ ආසියා රැහැන් මාරා පිළිබද ව කියවමු)

6.40: අසල තිබූ බෝ ගසට පියඹා යමින් විශාල මොණරකු නිකුත් කළ මහා හඩ උදෑසන කුරුලු ගී නදට නව මානයක්‌ එක්‌ කළේ ය.

6.45: පිළිහුඩු සංදර්ශනය තවමත් කෙරෙන්නේ විටෙක මහා හඩින් නද කරමිනි. සුදු ඇලි කොකෙකු ද ඒ අවට ගැවසුණේ තම උදෑසන ආහාරය සොයාගැනීමට ය.

ඉහත දැක්‌වූයේ දෙසැම්බර් 20 වැනි දා උදෑසන 5.45 සිට 6.45 දක්‌වා මා ගේ ගෙවත්තේ සිට කෙරුණු කුරුලු නිරීක්‌ෂණයන් ය. මෙදින උදෑසන කුරුලු සංවනිය විචිත්‍රවත් කළ ප්‍රධාන ගායකයන් වූයේ මයිනා, කොහා, රෑන ගිරවා, පොලොස්‌ කොට්‌ටෝරුවා, රත් මූණත් කොට්‌ටෝරුවා, අළු කොබෙයියා, ආසියා

රැහැන්මාරා හා බට්‌ටිච්චා ය. මීට අමතරව පැණි කුරුල්ලා, වී කුරුල්ලා, බ්‍රාහ්මන පියාකුස්‌සා, මොණරා, කණ කොකා, සුදු ඇලි කොකා, කොරවක්‌කා, කාක්‌කා, වී කුරුල්ලා ඉඳහිට නාද කරමින් සන්වනියට එක්‌ වූ හ.

කුරුල්ලකු නො වුණත්, එහෙ මෙහෙ දුවමින් කලබලයෙන් කළ ලේනුන් ගේ “ටින් ටින්.” නාදය ද සංවනිය තවත් සජීවී කරවී ය. සාමාන්‍යයෙන් ඉතා ම මිහිරි ගීයක්‌ ගයන පොල්කිච්චා නම් එදින සංවනියට එක්‌ නො වී ය. දෙමළිච්චන් මෙන් ම කොණ්‌ඩ කුරුල්ලන් ගේ නද ද මේ උදෑසන දී අසන්නට නො ලැබිණි.

මීට අමතර ව හිමිදිරියේ ගෙවත්තේ නිරීක්‌ෂණය නිසා පරිසරයේ අපූර්වත්වය නිරීක්‌ෂණයට ද මට අවස්‌ථාව ලැබිණි. කලාතුරකින් දක්‌නට ලැබෙන දේදුන්නක්‌ ද පායා තිබුණේ නව වසරට සුබ පතන්නාක්‌ මෙනි. පින්නෙන් බර ව උදා හිරු එළිය පතිත වූ පරිසරය ම හිමිදිරියේ දී මේ දිනවල ඇත්තේ අමුතු චමත්කාරයකි.

ඉතින් එළඹෙන නව වසර උදා කුරුලු සංවනියට සවන් යොමමින්, ගෙවත්තේ පරිසරය අත්විදිමින් පිළිගන්නට ඔබටත් ආරාධනා කරන්නෙමු. ඔබ ගේ නිරීක්‌ෂණයන් ද සටහන් කර අප වෙත එවන්න.

ඔබට සුබ නව වසරක්‌ වේ වා..!!